පළවෙනි පාරට බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් එකක් බලන්න යන කෙල්ලෙකුට හිතෙන දේවල් – First Movie Date with Boyfriend – Saru News Media

0
13

ලව් එකක් පටන් ගත්තත් හරි ඒකේ ආරම්භේ පෙන්නන්න ෆිල්ම් එකක් බලන්න ගියේ නැත්තම් ඒක මහ නීරස ආරම්භයක් තියෙන ආදර කතාවක් යාළුවා! කාලාන්තරයක් තිස්සේ මේ විදියට ෆිල්ම් හෝල් එකේදී දිගහැරෙන ආදර ජවනිකාව අස්සේ හා හා පුරා කියලා ගෑල්ලමයෙකුට මොනවා හිතෙනවා ඇතිද?

 

මේක නිකන් ගෑණු ළමයෙකුට මංගල නැකතක් වගේ තමයි. පරක්කු වුණොත් එහෙම අදාළ පාර්ශ්වය හිත් අමනාපකම් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා වෙලාව ගැන ගෑණු ළමයෙක් හරියට හිතනවා. ෆිල්ම් එක පටන් ගන්න වෙලාවටම එතනට යනවාට වඩා එයාටත් කියලා කලින්ම ගිහින් ඉන්න එක හොඳයි. නැත්තන් මම කලින් ගිහින් එයා එන්න හොඳටම පරක්කු වුණොත් එහෙම. මෙහෙම වෙලාව ගැන අනවශ්‍ය විදියට කරදර වුණාම ඇත්තටම පරක්කු වෙන්නත් පුළුවන්. ඕනෑවටත් වඩා කලින් ගිහින් ඉන්නත් පුළුවන්.

 

බයිස්කෝප්වල සිද්ධ වෙන විදියේ ආදර කතා ඇත්ත ලෝකේ නැති වුණාට දේව පුත්‍රයෙක් වගේ තමන්ට ලැබුණ ප්‍රේමවන්තයා එක්ක එහෙම එකක් බලන්න යන එක ගෑණු ළමයෙකුට මාරම සතුටක්. හරිම සිංහල වචනේ කිව්වොත් සතුට වැඩිකමට එක්සයිටඩ්! ෆිල්ම් එක පටන් ගන්නත් කලින් මේ කෙල්ල මනෝ පාරක් ගහලා වෙනම ෆිල්ම් එකක් හදාගෙන ඉවරයි. සෑහෙන කට්ටක් කාලා යාළු කරගත්ත ප්‍රේම පුරාවෘත්තයක් නම් මේ සතුට හොඳටම වැඩී.

 

ගෙදර ආශිර්වාදේ ලබාගෙන පටන් ගත්තු ලව් එකක් වුණත් අනික් පැත්තට කැරකෙන විදියක් තමයි අනික් එවුන්ගේ කටකතා. කොහොමත් ලංකාවේ මිනිස්සුන්ගේ විදියක් නෙව අනික් උන්ගේ පෞද්ගලිකත්වේ ආක්‍රමණය කරලා හෙන නැපෝලියන් බොනපාට් එකක් දාන එක. ඉතින් කරුණු කාරණා එහෙම වෙද්දී කෙල්ල බයයි කවුරුහරි එයාවයි කොල්ලවයි දැකලා ගෙවල්වලට රපෝර්තු කරයි කියලා. මොන තරම් සංයමයකින් හිටියත් ලංකාවේ ඇන්ටිලා දේවල් කියන්නේ එක දෙක කරලානේ.

 

කළුවරේ ඇඳන් ඉන්න එක පේනවද? ඉතින් මොකක් ඇඳන් ගියාම මොකද? එයා මොනා හිතයිද? ගවුමක් අඳින්නද? ඩෙනිමක් අඳින්නද? වගේ අහස පොළව පටලවගෙන ගෑණු ළමයෙක් කල්පනා කරන ප්‍රශ්නයක් තමයි මේ. ඇඳුම විතරක් නෙවේ. මේකප් එකක් දානවද නැත්තම් නිකන් ම යනවද! ඕඩිකොලෝන් ද නැත්තම් ජීවිතේ උකස් කරලා ගත්තු සැන්ට් පවුඩර් ටික උලාගෙන යනවද කියන ප්‍රශ්නයත් ඔතනට එනවා.

 

අද කාලේ ෆිල්ම් එකක් බලන්න යන එකත් ලේසි නෑ. ඉස්සෙල්ලාම චිත්‍රපටයක් බලන්න යනවා කියලා මකුණෝ පිරුණ, දූවිලි බැඳුන සොහොන් පිට්ටනියක් වගේ හෝල් එකකට යන්නෙත් නෑනේ. ටිකක් හයිෆයි මට්ටමේ එකකට යනවා මිසක්. දැන් එහෙම ගියාම ටිකට් එකේ ගාණ විතරක් නෙවෙයි කෑම-බීමවලටත් වියදම් වෙනවා. ඉතින් මේ ඔක්කොම අර අහිංසක කොලුවාට පටවන එක හොඳයිද? මම සල්ලි දුන්නොත් එයා ඒක වැරදියට හිතලා ලත් තැනම ලව් එක ලොප් වෙයිද වගේ දේවල් ගෑණු ළමයාට හිතෙනවා.

 

දැන් ඔය කපල් ෆිල්ම් බලන්න යන්නේ මහා රසවින්දනයක් පෙරදැරි කරගෙන නෙවෙයිනේ. පුංචි වෙලාවක් හරි තමන් ආදරය කරන මනුස්සයා එක්ක නිවිහැනහිල්ලේ ඉන්න. ඉතින් පළවෙනි පාරට මෙහෙම දෙයක් වෙනකොට හිතට කිසිම අදහසක් නැහැ කොහොමද ඉන්න ඕනි කියන එක ගැන. ෆිල්ම් එක යන අතරතුර එයා එක්ක කතා කරන්න ගත්තොත් ඒක එයාට කරදරයක් වෙයි. එයා මොනවා බලාපොරොත්තු වෙනවද කියලා කවුද දන්නේ? කිස් එකක් එයා දෙනකන් ඉන්නවද මම ම පැනලා දෙන්නද? අපෝ මේ කෙල්ලන්ගේ ප්‍රශ්න!

 

අපි අඩියක් තියනකොට අපේ වටේ ඉන්න ඈයෝ අඩි දහයක් තියලා ඉවරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here