අයි ෆෝන් වලට එහෙම දැක්ක ගමන් ආස හිතෙනවා. ඒත් මිල දැක්කම ආසාව ටිකක් ඈතට යනවා. දැන් අයිෆෝන් විතරක් නෙමෙයි, හුවාවේ, සියෝමි, සැම්සන්ග්, එල් ජී ආදී හැම ෆෝන් එකකම හොඳම ෆෝන් එන්නේ ලක්ෂයට වඩා උඩ මිල ගණන් වලට. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ සුපිරි ෆොන් එක්ක ගන්න පුළුවන් සුපිරි විදිහක් තමයි පාවිච්චි කළ එකක් මිලදී ගන්න එක. ඒකෙදි මොන මොන වගේ දේවල් බැලුවොත් හොඳයි ද කියලා අපි ටිකක් කියන්න හිතුවා.
අයි ෆෝන් යූස්ඩ් එකක් සැරට පාවිච්චි කරන්න ගන්නවා නම් ඔන්න අයිෆෝන් 7 වලින් වත් එහාපැත්තේ ගන්න ඕනි. එහෙම නැතුව වැඩිහිටියෙකුට බණ පිරිත් ඩිංගක් අහන්න, ඉඳලා හිටලා කෝල් එකක් ගන්න වගේ නම් ඔය පරණම මොඩල් එකක් අරන් දුන්නට කාරියක් නැහැ. ෆෝන් එකේ මොඩල් එක ගැහුවම ජී එස් එම් එරීනා හෝ ඒ වගේ තියෙන අටෝරාසියක් වෙබ් වල ෆෝන් එක එළියට දාපු අවුරුද්ද තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සුපිරි ඒවා වෙන ගූග්ල් පික්සල්, සැම්සන්ග් ගැලක්සි, එල් ජී, වන්ප්ලස් වාගේ ෆෝන් වුණත් අවුරුදු දෙක තුනක් ඇතුළත එළියට දාපු එකක් ගන්න පුළුවන් නම් හොඳයි.
ෆෝන් එකක් කියන්නේ මත්ද්‍රව්‍ය හෝ එවැනි නීතිවිරෝධී දෙයක් නෙමෙයි. සමහර අය නම් ආසයි එකපාර ෆෝන් එක අරං ඒක ෆේස්බුක් එකට දාලා ලෝකයා මවිත කරවන්න. අනෙක් පැත්තෙන් ගත්තාම යාළුවෝ නම් ඉතින් ඔය එක මොහොතක් මවිත වෙයි. ඒත් අපිට ෆෝන් එකට නොවටින ගාණක් වියදම් කරන්න වුණොත්, ගෙව්ව ගාණට ඒක හරිගියේ නැතොත් අපිට ඒක ටික කලක් බලපානවා. ඒ නිසා ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් ඒ අදහස යාළුවෝ අතර, නෑයෝ අතර ටිකක් පතුරුවන්න ඕනි. එතකොට අපේ යාළුවොන්ගේ යාළුවෝ ගාව, දන්න කියන අය ගාව ඒ ජාතියේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියනවා නම් අපිට දැනගන්න පුළුවන්. දන්න අඳුරන කෙනෙක් වුණත් හොර කරන්න පුළුවනි. ඒත් දන්න කියන කෙනෙක් ජරාම එකක් වැඩි ගාණකට විකුණන්න තියෙන හැකියාව අඩුයි.
ඉක්මන් ඩොට් එල් කේ එකේ හෙම බඩු විකුණන සමහර උදවිය අපේ හංදියේ ඉන්න මාළු ලෑල්ල අයිති මාළු මාමලා වගේ… අපි ඈතින් එනවා දැක්කම මාළු බුවාලා මාළුවා තෝරලා, කපලා පැක් කරලාත් ඉවරයි. ඒ වගේ සමහර ගැජට්ස් විකුණන අයටත් පුදුම හදිසියක් තියෙන්නේ. එයාලට නම් ඒක විකුණන සැණින් එයාලගේ ගාණ අතට එනවා. ඒත් කුණුගොඩක් ලැබුණොත් අවුල එන්නේ අපිට. ඒ නිසා කලබලකාරයෙක් නම් පොඩ්ඩක් වෙලාව ඉල්ලලා පස්ස ගහන්න ඕනි. ඒ කරලා ෆෝන් එකේ සිම් එක දැම්මහම ඩේටා වැඩ කරනවාද? ෆෝන් එක වැඩ කරනවාද? බැටරිය කොහොමද? පිම්බිලා තියෙනවාද? හීරිලා තියෙනවාද? ඒක ඔරිජිනල්ම ඩිස්ප්ලේ එකක්ද ආදී දේවල් ටිකක් බලන්න ඕනි. ඔක්කොම දේවල් බලන්න බැරි වුණත්, අපිට පේන දැනෙන ටික හරි බලලා ගන්න එක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ගනිද්දී කරන්නම ඕනි දෙයක්.
අපි හිතමු අපි ගන්න ඉන්නේ සෙකන්ඩ් හෑන්ඩ් සැම්සන්ග් එස් 9 කියන ෆෝන් එකක් කියලා. එතකොට ඒක විකුණන ගාණ මොකද්ද කියන එක අපි දැනගන්නේ කොහොමද? පොඩ්ඩක් ඉක්මන් එකේ කරක් ගැහුව නම්, ඊබේ එකේ ගිහින් යූස්ඩ් ෆෝන් වල ගාණ බැලුව නම් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම කරල ෆෝන් එකේ කන්ඩිෂන් බලලා ඇත්තටම ඒක ඒ ගාණට වටිනවා නම් අවුලක් නැහැ ගන්න පුළුවන්. ටිකක් අඩු වුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් පස්සේ ඒ ගැන කල්පනා කරන්නේ නැතුව මේ ගාණට වටින්නෙ නැහැ කියලා තමුන්ගේ ගාණ කියන්න පුළුවන්. ඒක කිසිම ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. දන්න කියන කෙනෙක් වුණත් අපිට වටින ගාණට නේ අපි බඩු ගන්න ඕනි.
Saru Fm Media