පිළිවෙතින් කඩේ යමු (2) ප්‍රාදේශීය සභා ඡන්දය ටිකක් කල්දැමීමේ වාසි – Saru FM Media

0
209


විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් මූලිකවම කිව්වේ මේක මේ නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා ඡන්දයක් හැටියට සලකන්න එපා, මේක ආණ්ඩුවට ජනවරමක් නැහැයි කියලා ඔප්පු කරන ජනමත විචාරණයක් බවට පෙරළාගන්නය කියලායි. ඉන් ඉදිරියට ක්‍රියාත්මක කළයුතු තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයත් ඔවුන් ප්‍රසිද්ධියේම කිව්වා. ඔවුන්ගේ න්‍යායපත්‍රය වුණේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ ප්‍රාදේශීය සභා ඡන්දය දිනාගැනීමෙන් ඔප්පු කරලා, ඒ හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලකරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහමැතිවරණයක් පවත්වලා, ඒ මහමැතිවරණය දිනාගෙන තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තුළින් රනිල්ට ජනවරමක් නැතිබව ඔප්පු කරලා, ඒ ඔස්සේ රනිල්ටම බලපෑම් කරලා ඔහු ලවාම 2023 නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවා ගැනීමයි.

මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ තමන්ම බව කියමින් සජබ සහ ජාජබ යන දෙගොල්ලෝම කිව්වේ ඔය කතාව.

ඔය කතාවේ හැටියට නම් මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේ ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණා නම් ජුලි හෝ අගෝස්තු වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා දෙසැම්බර් හෝ 2024 මුල ජනාධිපතිවරණයක් කැඳවාගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ. ඉතින් අපි නිකමට හිතුවොත් මේ සැලසුම සජිත්ගේ හෝ අනුරගේ පැත්තෙන් සාර්ථක වුණා නම් රටක් හැටියට අපට සිද්ධ වෙන්නේ 2024 මුල වෙනකල්ම ඡන්ද වැලක් පවත්වන්න.

ලංකාවේ අපි මීට මාස 11කට කලින් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරපු රටක්. තෙල් – ගෑස් පෝලිම් හැදිලා, පැය ගණන් විදුලිය කැපිලා, රටපුරා මහජන විරෝධතා මතුවෙලා, එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා, රටේ නිෂ්පාදන කර්මාන්ත බිඳවැටිලා, සංචාරකයින් පැමිණීම නතර වෙලා ලෝක අමාරුවක වැටිලා ඉඳපු රටක් අපි. එහෙම තත්වයක ඉඳලා දැන් තමයි අපි බොහෝ අමාරුකම් මැද්දේ වුණත් ඩිංග ඩිංග හරි සාමාන්‍ය තත්වයට පත්වෙමින් ඉන්නේ. එහෙව් මොහොතක අපට රටක් හැටියට ආයෙත් මාස 9 – 10 ක් පුරා දිවෙන ඡන්ද කෙරුවාවකට පනින්න පුළුවන්ද ?

මේ ඡන්ද තුනම මාස 9 – 10 ක් ඇතුළත පවත්වන්න සල්ලි කොහෙන්ද ? හරි, සල්ලිත් කොහෙන් හෝ හොයාගත්තාම කියමුකෝ. ඔය තරම් දුර ඇදෙන ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයක් තුළ රටේ නිෂ්පාදන කටයුතුවලට මොනවා වෙයිද ? එදිනෙදා කටයුතුවලට මොනවා වෙයිද ? මොකද අපි දන්නවා ඡන්දයක් ළං වෙනකොට සාමාන්‍යයෙන් ඕනෑම විපක්ෂයක් බලන්නේ තමන් සතු වෘත්තීය සමිති ඇතුළු බලවේග භාවිතා කරලා නොයෙකුත් ජනප්‍රියවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් විවිධාකාර වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා පවත්වලා, ඒ ඔස්සේ ජනතාව පීඩාවට පත්වෙන්න ඉඩහැරලා ඒ අප්‍රසාදය ආණ්ඩුව පැත්තට යොමුකරන එක. ඒක දේශපාලනය කවුරුත් දන්නා උපක්‍රමයක්. එහෙම තත්වයකට මුහුණ දෙන්න මේ රටට පුළුවන්ද ?

දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ කවර මොහොතක් හෝ පාවිච්චි කරලා බලය අල්ලාගන්න චේතනාවෙන්. ඒ නිසා මේ සැලසුම් රටේ පැත්තෙන් හොඳද, නරකද කියන එක ඔවුන්ට අදාළ වෙන්නේ නෑ. එතන ක්‍රියාත්මක වෙන්නේ බලය පිළිබඳ චේතනාව විතරයි. දැන් බලයේ ඉන්න රනිල් සහ පොහොට්ටුව මේ මොහොතේ විපක්ෂයේ හිටියා නම් ඔවුන් කරන්නෙත් ඕකම තමයි.


Saru Fm Media