ඩිජිටල් යුගයක ඉන්න අපිට වැදගත්ම කාරණාවක් තමයි, අපේ දත්ත වඩාත් පහසුවෙන් එහෙ මෙහෙ අරගෙන යන්න හැකියාවක් තිබීම. ඉස්සර ඉතින් ෆ්ලොපි ඩිස්ක් තිබුණා. හැබැයි මෙගාබයිට් 1.5 ක් වගේ ප්‍රමාණයක් තමයි කැපෑසිටි එක. ඔය ගාණෙන් මොනව කරන්නද? සීඩී වල ඩේටා ලියන්න පුලුවන් වුණත්, ඒක ටිකක් කරදරකාර වැඩක්. ගොඩක් වෙලාවට සීඩී වල ලිව්වොත් ලිව්වමයි. එතකොට ඉතින් පහසුවෙන් ඩේටා එහෙ මෙහෙ අරගෙන යන්න කියලා අපි කරන්න පුරුදු වෙලා හිටියේ හාඩ් එක ගලවගෙන ගිහින් වෙන කම්පියුටර් එකකට ගහන එක තමයි. හැබැයි ඉතින් ඒකත් මොන තරම් කරදරකාරී වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ.
ආන්න එහෙම තිබුණු කාලෙක තමයි පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වේදිකාවට එන්නේ. කෙලින්ම යූඑස්බී පෝට් එකට ගැහුවා, ඩේටා කොපි කලා, ගලෝගත්තා, සාක්කුවේ වුණත් දාගෙන ගියා. ඇත්තටම පෙන්ඩ්‍රයිව් තරම් ඩේටා එහෙ මෙහෙ ගෙනියන්න පහසු ක්‍රමයක් වෙන ආවේ නැති තරම්.
ක්ලවුඩ් මතකයන්, පෝටබල් හාඩ්ඩ්‍රයිව් එහෙම තියෙන අද කාලේ වුණත්, පෙන් ඩ්‍රයිව් සෑහෙන්න පාවිච්චි වෙන්නේ එකේ හුරුබුහුටි බවත්, පහසුවත් නිසා තමයි. ඉතින් පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්නවා නම්, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ගැන හිතලා බැලුවොත්, තමන්ට හොඳින්ම ගැලපෙන පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් අපි හැමෝම බඩුවක් ගන්නකොට තෝරගන්නේ අපේ අවශ්‍යතාවයට ගැලපෙන එක නෙවෙයි, ඒ වෙනුවට මාකට් එකේ තියෙන ලොකුම එක තමයි ගන්නේ. පෙන්ඩ්‍රයිව් එකක් ගන්නකොටත් ගොඩක් දෙනෙක් එහෙම තමයි. ඒ කියන්නේ ඔය ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස් එහෙම දාගෙන යන්න පෙන්ඩ්‍රයිව් එකක් ගන්න ගියහම, ගන්නේ 128GB එකක්. හැබැයි ඉතින් ජීවිතේට මෙගාබයිට් සීයකට දෙසීයකට වඩා පාවිච්චි වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ගිගාබයිට් එකක පෙන් එකකට දාන්න පුලුවන් පීඩීඑෆ් ෆයිල්ස් 2,400 ක් විතර. ඉතින් අපරාදෙ නෙවෙයිද ඔච්චර පෙන් එකකට වියදම් කරපු ගාණ? අන්න ඒ නිසා, මුලින් හිතලා බලන්න තමන්ට පෙන් ඩ්‍රයිව් එක ඕන වෙන්නේ මොකටද කියලා.
පෙන්ඩ්‍රයිව් එකක් ගන්නකොට, ඒකේ ධාරිතාව වගේම දත්ත හුවමාරු වේගය ගැනත් හිතලා බලන්නම ඕන. සරලවම කියනවා නම්, පෙන්ඩ්‍රයිව් එකක දත්ත හුවමාරු වේගයන් දෙකක් සඳහන් වෙනවා. එකක් දත්ත කියවන වේගය. ඒ කියන්නේ පෙන්ඩ්‍රයිව් එකේ තියෙන දත්ත කම්පියුටර් එකෙන් කියෝගන්න වේගය. එතකොට දත්ත ලියන වේගය. ඒ කියන්නේ මොකක් හරි ෆයිල් එකක් පෙන්ඩ්‍රයිව් එකෙන් හරි පෙන්ඩ්‍රයිව් එක වෙතට හරි ලබාදෙනකොට ඒක සිද්ධ වෙන වේගය. දැන් එන අලුත් පෙන්ඩ්‍රයිව් එකක දත්ත කියවන වේගය සාමාන්‍යයෙන් 100MB/s වගේ වෙන්න පුලුවන්. දත්ත ලියන වේගය නම් ඊට අඩුයි. සමහර විට සාමාන්‍යයෙන් 30MB/s විතර. මේකට ඉතින් USB සංස්කරණයත් බලපානවා. උදාහරණයක් විදියට, USB 3.0 පෙන්ඩ්‍රයිව් එකක්, USB 2.0 පෝට් එකකට ගහලා ඉහළ වේගයක් බලාපොරොත්තු වුණාට වැඩක් නෑ.
ඒ වගේම, දැන් ඔය සමහර පෙන්ඩ්‍රයිව් තෝරනකොට, අපිට දකින්න පුලුවන් පැක් එකේ ගහලා තියෙනවා Speed Class කියලා එකක්. ඒ කියන්නේ Class 10 වගේ එව්වා ගහලා තියෙනවා. ඇත්තටම මේ Speed Class එක එන්නේ SD card වලට, ඒ කියන්නේ මෙමරි චිප් වලට තමයි. හැබැයි සමහර විට පෙන්ඩ්‍රයිව් එකකත් ඕක ගහලා තියෙන්න පුලුවන්.
මේ කියන්නේ ඇත්තටම පෙන්ඩ්‍රයිව් එකක මතකයේ සහ ක්‍රියාකාරීත්වයේ කොලිටිය ගැන. අපි ඔය වොරන්ටි ගැන කතා කරනකොට ඉස්සරහදී කියනවා, පෙන්ඩ්‍රයිව් එකක් සාමාන්‍යයෙන් සෑහෙන්න කාලයක් පවතිනවා කියන එක. හැබැයි ඒ කොලිටියට නිෂ්පාදනය කරලා තියෙන පෙන්ඩ්‍රයිව් විතරයි. එහෙම නැතුව හරිහමන් කොලිටියක් නැතුව නිෂ්පාදනය කරපු පෙන්ඩ්‍රයිව් එකක් නම්, බොහොම ඉක්මනින් බෑඩ් සෙක්ටර්ස් ඇවිල්ලා, තමන්ගේ වටිනා දත්ත එහෙමත් විනාශ වෙන්න පුලුවන්. ආන්න ඒකට බ්‍රෑන්ඩ් එකත් වැදගත්!
අපි මොන බඩුභාණ්ඩයක් ගන්න ගියත් බ්‍රෑන්ඩ් එක කියන කාරණාව වැදගත්නේ. පෙන්ඩ්‍රයිව් වලටත් ඒ කාරණාව අදාළයි. විශේෂයෙන්ම ඔය හරිහමන් හොයාගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් නැති, හද්ද අඩු ගාණට දෙන පෙන්ඩ්‍රයිව් එහෙම නොගන්න එක ඇඟට ගුණයි. විශේෂයෙන්ම පෙන්ඩ්‍රයිව් එකක් දන්න බ්‍රෑන්ඩ් එකක කියලා කිව්වත්, මාකට් ප්‍රයිස් එකට වඩා හිතාගන්න බැරි තරම් ගාණ අඩුයි නම්, ඒක ෆේක් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, හොඳම දේ වගකීමක් ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක ප්‍රඩක්ට් එකක් ගන්න එක. ඕන නම් බාර් කෝඩ් එක ස්කෑන් කරලා ඒකේ තොරතුරු තහවුරු කරගන්නත් පුලුවන්.
එක කාලයක් තිබුණා, පෙන්ඩ්‍රයිව් බ්‍රෑන්ඩ් එකකට දෙකකට වඩා ලංකාවේ තිබුණෙ නෑ. ගාණත් ටිකක් වැඩියි. හැබැයි ඔය බ්‍රෑන්ඩ් වලින් මොන කැපෑසිටි එකේ පෙන්ඩ්‍රයිව් එකක් ගත්තත්, ආයෙ ලයිෆ් ටයිම් වොරන්ටි. ජීවිත කාලෙකට වගකීම් සහතිකයක් ලබාදෙනවා. එහෙම වොරන්ටි දෙන එක අවුලකුත් නෑ. මොකද ඉස්සර තිබුණු පෙන්ඩ්‍රයිව් සමහර වෙලාවට තාමත් අපි පාවිච්චි කරනවා. තව අවුරුදු විස්සක් තිහක් හතළිහක් වුණත් පාවිච්චි කරන්නත් පුලුවන් කියලා ෂුවර් එකකුත් අපිට තියෙනවා. හැබැයි කොහොම වුණත්, දැන් නම් එහෙම ලයිෆ් ටයිම් වොරන්ටි හම්බුවෙන පෙන්ඩ්‍රයිව් නැති තරම්. දැන් හම්බෙන්නේ අවුරුදු 5 ක නැතිනම් අවුරුදු 3 ක වගේ වගකීම් සහතික තමයි. හැබැයි පෙන්ඩ්‍රයිව් එකට වගකීම් සහතිකය දෙන්නේ මාස හයක්, අවුරුද්දක් වගේ නම්, ගන්න එක තේරුමක් නැහැනේ.
Saru Fm Media