පෙම්වතා දික්කසාද වූ වහා විවාහ වීම නිසා ගැටළුවකට මැදි වූ තරුණියක් – Saru News Media

0
3

(නීතිවේදිනී බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරින් සකසා ඇත. නම් ගම් මනඃකල්පිත ය)

ජීවිතයේ සමහර තීරණ වරක් පමණක් නොව දෙවරක් පවා අසාර්ථක වන්නට පුළුවන්. චාමර මුල් විවාහයෙන් අසාර්ථකව පවනි සමඟ විවාහ වුණත් ඒ විවාහයද සාර්ථක නැති බව ඔහුට වැටහෙනවා. ඒ විවාහයෙන් දරුවන් ද නොමැති නිසා පැමිණි අර්බුද හමුවේ විවාහය දික්කසාදයකින් කෙලවර කරන්නට ඔවුන් තීරණය කරනවා.එහෙත් මෙය ඉතා නීතිමය ගැටලුවක් මතු කළ කාරණාවක්. 

චාමරගේ මුල් විවාහය ගුරුවරියකවූ කාංචනා සමඟ අතර ඒ විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනකු ද සිටියා.දරුවන් දෙදෙනාට ඔහු නඩත්තු ද ගෙවනු ලබනවා. කාංචනා කොළඹින් ඉතා දුරබැහැර ජීවත් වූ අතර චාමර අගනුවරට ආසන්න ප්‍රදේශයක රැකියාව කළා. මේ කාලයේදී ඔහු පවනි සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා. මේ හේතුව තමයි ඔහුට කාංචනාගෙන් දික්කසාද වීමට හේතුවක් වී තිබුණේ. 

දික්කසාදයකින් තෙමසකට පසුවයි නයිසයි තීන්දු ප්‍රකාශය නියත වන්නේ. ඒ මාස තුන ඉක්මවන්නට පෙර නැවත විවාහ වන්නට හැකියාවක් නෑ. එය ශූන්‍ය හා බලරහිත එකක් වෙනවා.එහෙත් නීතිය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නොතිබූ නිසා කාංචනා සමග නඩු තීන්දුව අවසන් වූ වහාම චාමර විවාහ වන්නට තීරණය කරනවා. 
 
“මං ප්‍රෙග්නන්ට්. නඩුවත් ඉවර වුණු එකේ අපි කසාද බඳින්න ඕනෑ.”

එයට හේතුවක් වූයේ පවනි ඒ වෙද්දී ගර්භනීයක බවට පත්ව සිටීම සහ එය ඔහුට හෙළි කිරීමයි. වෙද්දිත් ඔවුන් එක්ව ජීවිතය ගත කරමින් සිටි නිසා ඉක්මනින් විවාහ වන්නට ඔවුන් තීරණය කරනවා.නමුත් ජීවිතය සැලසුම් කළ පරිදි ම සිදු වන්නේ නැහැ. විවාහයෙන් සති කිහිපයක් ගෙවී යද්දී පවනිගේ දරුවා ස්වභාවිකව ගබ්සාවකට ලක් වෙනවා. 

“කමක් නෑ අපි පස්සේ දරුවෙක් හදා ගමු”

යුවළ එසේ සිතමින් හිත හදා ගන්නට උත්සාහ කරනවා. දරුවකු වෙනුවෙන්  සිහි නුදුටු ව ඔවුන්ගේ දරු සිහිනය ඉක්මනින් ඉටු වන්නේ නැහැ.ප්‍රේම කරන කාලයට වඩා විවාහ වූ කාලය ඉතා වෙනස් වන අතර චාමර සහ පවනි අතර ගැටුම් ඇතිවන්නට ද පටන් ගන්නවා. 

“කවුද ලහිරු කියන්නේ?”

හිතේ ඇති වූ සැකයක් සනාථ කරගන්නට එසේ ගැටුමක් ඇති කරගත් අවස්ථාවකදී චාමර අසන ප්‍රශ්නයට පවනිට තිබෙන්නේ බොහොම සෘජු පිළිතුරක්.

“ලහිරුයි මායි අතර සම්බන්ධයක් තියෙනවා. ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් පුලුවන් කියලා හිතාගෙන ඔයාව දික්කසාද වෙච්චි ගමන් කසාද බැඳ ගත්තට මගේ ජීවිතේ කිසිම සතුටක් නෑ චාමර. දරුවෙකුත් නැතුව රණ්ඩු වෙවී ගුටි කකා මේ ජීවත් වන ජීවිතේ මට දැන් තිත්තයි. මට ලහිරු ඕනි.”

ඒ කතාව දික්කසාදයක් දක්වා ඔඩු දුවන්නට ගත් පසු චාමර නීතිඥයෙකු හමු වන්නට තීරණය කරනවා.

මුලින්ම මේ දික්කසාදය කුමන ප්‍රවර්ගයට අයත් වේදැයි නිශ්චය කර ගන්නට අවශ්‍ය වුණා. දික්කසාදයක් වෛවාහක වැරදි තුළට සහ ශුන්‍ය සහ බලරහිත යන කාරණා දෙකට වෙන් කරන්නට පුලුවන්. චාමර  විවාහ වී තිබෙන්නේ පළමු විවාහයෙන් මාස තුනක් නොවන්නට පෙර බව හෙළි කර ගත් පසු නීතිවේදීන් ට මේ නඩුව පැවරීමට තිබුණේ දික්කසාදයක් ලෙස නොවේ, ශුන්‍ය සහ බලරහිත නඩුවක් ලෙසටයි.

“එතකොට පවනිට සම්බන්ධය හින්දා අනාචාරය යටතේ නඩු වැටෙන්නෙ නැද්ද?”

චාමර නැතුවම විමසුවත් සැබෑවටම එවැනි කාරණාවට නඩු පවරන්නට හැකියාවක් නැහැ.පළමු විවාහයෙන් දික්කසාද වී මාස 3 ක් ඉක්මවා නෛසයි තීන්දුව ලැබෙන්නට පෙර විවාහ වීම නිසා මේ පවතින විවාහය ශූන්‍ය හා බලරහිත කරන ලෙස දන්වා නඩුවක් පැවරුණා.ඒ නිසා මෙය ඉතා ඉක්මනින් අවසන් වූ නඩුවක් බවට පත්වුණා.

“හොඳට හිතලා බැලුවම මගේ දරුවා නැති වුණු එක ගැන මට දැන් සතුටුයි. හදිස්සියට කසාද බැන්දට මම ඇත්තටම කසාදෙක අයිතිකාරියක් නෙවෙයිනෙ. තව පොඩ්ඩෙන් මටත් මගේ දරුවටත් ඇතිවන තත්ත්ව ගැන හිතුවාම මට මහ බයක් වගේම දුකක් හිතෙනවා.”

පවනි නීතිය නොදැන තමන් පත් වූ තත්ත්වය ගැන මෙසේ ඉතා කණගාටුවෙන් කතා කළා. ජීවිතය හා නීතිය ගැන හොඳ අවබෝධයකට පත් ඇය දැන් සමහරවිට ලහිරු සමග විවාහ වී සතුටින් ජීවත් වනවා ඇති.

කාන්තා වෙබ් අඩවියක අපව කියවන ඔබට පවනි කෙනෙකු නොවී බුද්ධිමත්ව ක්‍රියා කරන ආකාරය ගැන දැනුවත් විය යුතුමයි. ප්‍රේමය ඕනෑම ආකාරයකට උපදින්නට පුලුවන්.ඔබ ජීවිතය එක්ව යන්නට තෝරා ගන්නේ අවිවාහක පුද්ගලයෙකු ද එසේත් නැත්නම් දික්කසාද කෙනෙකු ද කෙනෙකු ද යන්න ඔබේ තීරණයක්. නමුත් ඔබ සෑම අවස්ථාවකම නීතිමය වශයෙන් ඉතාම දැනුවත් විය යුතුයි.

“මම ඩිවෝස් වුණා. නෛසයි තීන්දුව තාම ලැබුණේ නෑ. අවිවාහක කියලා ආයේ බැන්දා.”

මේ වගේ ප්‍රශ්න මතු කරන්නියන් අපි සමාජයේ ඕනෑම තරමට දකිනවා. නීති වේදනීය පවසන ආකාරයට මිනිසුන්ට අවශ්‍ය වන්නේ තමන්ට අවශ්‍ය දේ නීතිය කර ගන්නට මිස සැබෑ නීතිය පිළි ගන්නට නෙවෙයි.නමුත් ඔබට විවාහයක් නිසා ලැබිය යුතු දේ ලබා ගන්නට නම් ඒ විවාහය නීත්‍යානුකූල විය යුතුයි.දික්කසාදයකට පසු නෛසයි තීන්දුවක් ලැබෙන තුරු විවාහ වන්නට එපා. දරුවන්ට සහ දේපළ බෙදී යාමට මෙය විශාල ගැටලුවක් මතු වෙනවා. අනවබෝධයෙන් ක්‍රියා කිරීම නිසා දරුවන්ව පීඩාවන්ට ඇද දැමීමට ඔබට අයිතියක් නැහැ. එනිසා සෑම මොහොතකම නීතිය සම්බන්ධයෙන් දැනුවත් ව කටයුතු කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here