පොලිස් අවිය උදුරාගෙන පොලීසියටම වෙඩිතබයි

0
7


රාත්‍රී මුර සංචාරය අතරතුර ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය මල්වතුහිරිපිටිය පොලීසියේ  පොලිස් සැරයන්වරයෙකුට එහි රියදුරා වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගත් ත්‍රීරෝද රථ රියදුරු ඉන් ඔහුට වෙඩිතබා ගිනිඅවියද රැගෙන පළාගොස් ඇති බවය.

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ අද (10) අලුයම් කාලයේදීය.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ පිහිටි බැංකුවක දොරක් විවෘත කර තිබෙන බවට දුටු පොලිස් නිලධාරීන් එහි කළමනාකරුට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඔහු පැමිණෙන තෙක් අදාළ ස්ථානයේ රැඳී සිට ඇති බවය.

එහිදී පැමිණි සැක කටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ ත්‍රීරෝද රථයේ සිට ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ සහෝදරිය සමග මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මඟහරිමින් සිටි ගම්පහ පදිංචි පුද්ගලයෙකි.

පසුව ඔහුව ජීප් රථයට නංවාගෙන පොලිස් ස්ථානයට රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැරයන්වරයාගේ රාජකාරී රිවෝල්වරය උදුරාගෙන වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

ඉන් අනතුරුව සැකකරු පොලිස් සැරයන්වරයාගේ රිවෝල්වරයද රැගෙන පළාගොස් තිබේ.

අදාළ පොලිස් සැරයන්වරයාගේ වම් ඇස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.





Saru News