පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය කරන්නේ නෑ- ඇමති ප්‍රසන්න රණතුංග

0
22



පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, විපක්ෂය පසුගිය සති දෙකම හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව කඩේ යවා ඔහු නැති කළ බවයි. ඔහු පොදු අපේක්ෂකයා බවට සැකයක් ඇතිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය කලබල වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේදී අද (30) අදහස් පළකරමින් ඇමතිවරයා මේ බව කීවේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන බවට චෝදනා කරමින් ඇමතිවරයා මේ බව කීවේය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය,

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)

– ගරු කථානායකතුමනී, ඔබතුමාගේ අවධානය කාලය පිළිබඳව යොමු කරනවා. මේ වනකොට මූලික වැඩකටයුතු ආරම්භයේදීම විනාඩි 50කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ කාලය දෙපැත්තෙන් ගත්ත කතා වල අනුපාතය අනුව අඩු කරලා මේ කළමනාකරණය කරලා දෙන්න. අපිට ඊයෙත් මේ අර්බුදයට මූණ දෙන්න සිද්ධ වුණා. විපක්ෂයේ සංවිධායකතුමයි මමයි දෙන්නම මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. එහෙම අඩු කරන්න කටයුතු කරන්න. ගොඩක් වෙලාවට ඉල්ලනවා දහවල් ආහාරය කියලා. ඒ පැය භාගය දෙනකොටත් උදේ වරුවම 14 වැනිදා සිට 28 වැනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් වැය කරලා තිබෙනවා. ඒකෙන් විනාඩි 204ක්ම කතා කරලා තියෙන්නේ විපක්ෂ නායකතුමා. එතකොට උදේ වරුවම ඒ අයට හම්බ වෙනවා. දවල් කෑම වෙලාවත් ඉල්ලනවා. කෑම වේලාව දෙනවට එකඟ නෑ. අඩු කරනකොට දෙපැත්තෙන්ම අඩු කරන්න. වැඩිපුර ගත්ත අයගෙන් අඩු කරන්න. නැත්තම් මෙතැන කළමනාකරණය කරන්න බැරි වෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වගකීම ආණ්ඩුපක්ෂ සංවිධායකටත්, විපක්ෂයේ සංවිධායකටත් තියෙනවා. දෙනවා නම් කළමනාකරණය කරන්න දෙපැත්තම කටයුතු කරන්න. නැත්තම් උදේ වරුවම එතුමන්ලා ගන්නවා. ඒක නිසයි මම යෝජනා කළේ දෙපැත්තෙන්ම ගත්ත කාලය අඩු කරන්න කියලා.

 

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –

රට බංකොලොත් වුනාම කොච්චර දේවල් කතා කරන්න දේවල් තියෙනවද?

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)

– රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමාව කඩේ ඇරලා නැති කරලා පොදු අපේක්ෂකයා කියලා කිව්වට පස්සේ එතුමන්ලා ඉක්මනටම දානවා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කියලා. අද උදේ පටන් ගන්නවා පාස්කු ප්‍රහාරය. සති දෙකක් දැන් ඕක අදියි. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ සාකච්ඡා කරන්න අදාල කාලය නැතිවෙනවා. ඔබතුමා මේක කලමනාකරණය කර දෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන (විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට)

ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මේ කාලය නාස්ති කරනවා නම් අපි කොහොමද සභාවේ කටයුතු කරන්නේ. ඔබතුමා හිතා මතාම නේ මේ විනාශය කරන්නේ. බොහොම වැරදියි ඒක.

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –

මෙතුමා කියනවා අපි වැඩි වෙලාව ගන්නවා කියලා. රට බංකොලොත් කොච්චර දේවල් කතා කරන්න තියෙනවද?

කතානායක මහින්ද යාපා අබේවර්ධන –

දැන් ඕක විසිපස් වතාවක් විතර කිව්වා.

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –

කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ මේ අයට.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතා –

රට බංකොලොත් කලේ මේ අයයි. මේ හොරුත් එක්ක පොහොට්ටුවේ මිනිස්සු දේශපාලනය කරන්නේ නෑ. රොෂාන් රණසිංහලා අපි ඒ පැත්තට ඇරියේ ඒ නිසයි. ”

 





Saru News