බොලිවුඩ් තරු අත​ර සිදු නොවුණු විවාහ – Saru News Media

0
13

කලා නිර්මාණවලදී තිරයේ පෙම්වතුන් බවට පත් වන  බොහෝ දෙනෙක් සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත් වීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්. යම් යුවළකගේ රංගනය අතිශයින්ම ප්‍රේමාන්විත නම් බොහෝ විට ප්‍රේක්ෂකයන් පවා ඔවුන් දෙපළගේ  විවාහය පිළිබඳව බලාපොරොත්තු වෙනවා. හැබැයි සිනමා නිර්මාණවලදී දුෂ්ටයන් පරදවා පෙම්වතායි පෙම්වතියයි විවාහ වුණත් සැබෑ ජීවිතයේදී මෙහෙම වෙන්නේ ගොඩක් අල්ප වශයෙන්. අපි අද කියන්න යන්නේ බොලිවුඩයේ ඒ ආකාරයෙන්ම සාර්ථක නොවුණු පෙම් සබඳතා කිහිපයක් ගැන.

 

ඉන්දීය සිනමා ඉතිහාසයේ එකිනෙකා වෙනුවෙන්ම බිහිවුණු පෙම්වතුන් යුවළක් ලෙස සැලකුණු දිලිප් කුමාර් සහ මධුබාලා සැබෑ ජීවිතය තුළත් පෙම්වතුන් වුණා. එහෙත් බොහෝ ප්‍රේම කතා වල මෙන් ඔවුන් දෙදෙනාගේ දුෂ්ඨයා වූයේ මධුබාලාගේ පියායි. දිලිප් කුමාර් සමඟ විවාහ වුවහොත් තමන්ගේ පවුලට ලැබෙන ආදායම නැති වනු ඇතැයි යන බිය නිසා දිලිප්ගේ සහ මධුබාලාගේ විවාහයට ඔහු තම දැඩි විරෝධය පළ කළා. මේ නිසා ඔවුන් දෙදෙනාට තම ප්‍රේම කතාව අවසන් කිරීමට සිදුවුණා.

 

රංගනයෙන් සහ ගායනයෙන් මුළු ඉන්දියාවම තමන්ගේ වසඟයට ගන්නට සමත් වුණු සුරයියාගේ හදවත වසඟයට ගත්තේ එවකට තවත් සුප්‍රකට නළුවෙක් වූ දේව් ආනන්දයි. නමුත් මෙම විවාහයට සතුරෙක් වූයේ සුරයියාගේ මිත්තණියයි. එවකට පැතිර ගිය  කතාවලට අනුව දේව් ආනන්ද් විසින් සුරයියාට පළඳවන ලද මුදුව ඇය විසින් උදුරා ගෙන මුහුදට විසි කොට තිබෙනවා. සුරයියා මුස්ලිම් වීමත් දේව් ආනන්ද් හින්දු වීමත් මේ විරෝධයට එකම හේතුවයි. සුරයියා කිසිදිනක විවාහ නොවුණු අතර ජීවිතයේ අවසාන කාලය දක්වාම දේව් ආනන්ද්ගේ මතකය ඇයට වේදනා ගෙන දුන්නා. වෙනත් විවාහයක් කර ගත්තද දේව් ආනන්දත් ඒ හා සමානව විඳෙව්වා.

 

සිනමා නිර්මාණ වලදී මුණ ගැහුණු ශේකර් කපූර් සහ ෂබානා මුලින්ම හොඳ යහළුවන් බවට පත්වුණා. මෙම යාළුකම පෙම් සබඳතාවක් බවට පත්වන්නට ගියේ ටික කාලයක්. ඉන් අනතුරුව වසර හතක කාලයක් පුරා මේ පෙම් සබඳතාවය පැවතුණත්, කලා නිර්මාණවල දෙදෙනාම  අධික ලෙස කාර්යබහුල වීම නිසා විවාහය ටිකෙන් ටික කල් දමනු ලැබුවා. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ කැමැත්ත මත පෙම් සබඳතාවට සමුදුන්නා. නමුත් ඔවුන් දෙදෙනා තවමත් හොඳ යහළුවන්.

 

‘කාමෝෂී’ චිත්‍රපටයේ මනීෂා කොයිරාලගේ පියාගේ චරිතය නිරූපණය කරන ලද්දේ නානා පටේකාර් විසින්. දෙදෙනා අතර යම්තාක් දුරකට වයස් පරතරයක් තිබුණත් ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටය තුළ දීම පෙම්වතුන් බවට පත් වුණා. මේ පුවත බොලිවුඩය තුළ ලැව්ගින්නක් ලෙස පැතිරුණා. මුල් අවස්ථාවේදී තම බිරිඳව දික්කසාද කොට මනීෂා සමග විවාහ වීමට නානා පටේකාර් සැලසුම් කර තිබුණත්, පසුව ඔහු විසින් තම විවාහය රැක ගැනීමට ප්‍රමුඛත්වය ලබා දුන්නා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here