බොලිවුඩ් නිළියන්ව සරණ පාවාගත් ක්‍රිකට් තරු – Saru News Media

0
2

ක්‍රිකට් සහ සිනමාව කියන්නේ ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය ක්ෂේත්‍ර දෙකක්. ඉන්දියානු ජනතාව මේ ක්ෂේත්‍ර දෙකේම කැපී පෙනෙන චරිත වන්දනාමාන කරන්න වුණත් පසුබට වෙන්නේ නැහැ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත් ඉන්දියාවේ බොලිවුඩ් සිනමා නළුවන් පරදවන පෙනුම තියන ක්‍රීඩකයන්ගේ අඩුවක් නැහැ. සුරූපී නිළියන් දිහාවට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇස යොමු වෙනවා වගේම සාර්ථක, කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයන් දිහාවට බොලිවුඩ් සුරූපිණියන්ගේත් අවධානය යොමු වෙනවා. 

ඉතින් අපි හිතුවා ඒ විදිහට බොලිවුඩයත් ක්‍රිකටුත් යා කරමින් සිද්ධ වෙච්ච නිළියන් සහ ක්‍රීඩකයන් අතර විවාහ කීපයක් ගැන කියන්න.

 

ක්‍රිකට් සහ සිනමා ලෝකයේ ජනප්‍රියම හාදකම වෙච්ච විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය සිද්ධ වෙන්නේ 2017 අවුරුද්දේ දෙසැම්බරයේදියි. 2013 අවුරුද්දේ වෙළඳ දැන්වීමක් රූගත කරන අතරතුරේදී තමයි විරාත් සහ අනුෂ්කා මුලින්ම හමුවෙලා සමීප වෙන්නේ. ඒ වෙද්දී විරාත් කෝලි ඉන්දීය කණ්ඩායමේ හිටපු දක්ෂම පිතිකරුවා විතරක් නෙමෙයි, බහුතර ඉන්දීය තරුණියන්ගේ සිහින කුමාරයා වෙලයි හිටියේ. අනුෂ්කා ෂර්මාත් බොලිවුඩයේ ඉහළින්ම කැපී පෙනුණු නිළියක් වුණා. පොඩි පොඩි හැලහැප්පීම් නිසා මේ දෙන්නා කෙටි කාලයකදී ප්‍රේම සම්බන්ධය නවත්වලා හිටියත්, ආයෙත් හාදකම ඇතිවෙලා එක වහලක් යටට වෙනවා. 2017 ඉතාලියේදී තමයි මේ දෙන්නාගේ සුන්දර විවාහ මංගලෝත්සවය පැවැත්වෙන්​නේ. කවුරුත් අද වෙද්දි විරුෂ්කා නමින් තමයි මේ ජෝඩුවව හඳුන්වන්නෙ. 

 

බොලිවුඩ් නිළියක් එක්ක විවාහ වුණු පළමු ඉන්දීය ක්‍රිකට් නායකයා වෙන්නෙ විරාත් කෝලි නම් නෙමෙයි. ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මන්සූර් අලි ඛාන් පතවුදි, එහෙමත් නැත්නම් ටයිගර් පතවුදි. ඔහු විවාහ වෙන්නේ ඒ වෙද්දි බොලිවුඩයේ හිටපු සුරූපිණියක් වුණු ෂර්මිලා තාගෝර්ව. ඉස්ලාම් භක්තිකයෙක් වුණු පතවුදි සහ හින්දු භක්තික ෂර්මිලාගේ සම්බන්ධය විරාත් – අනුෂ්කාගේ විරුෂ්කා සම්බන්ධතාවය වගේම ඒ කා​ලේ ඉන්දියාවේ පුවත් මවපු විවාහයක් වුණා. ක්‍රිකට් තරඟයකින් පස්සේ පැවැත්වූ සාදයකදී තමයි ෂර්මිලා සහ පතවුදි මුලින්ම මුණ ගැහෙන්නේ. ඒ වෙද්දී ඒ දෙන්නාටම අනිත් කෙනාගේ ක්ෂේත්‍රය ගැන වැඩි දැනුමක් තිබිලත් නැහැ. ඒත් ක්‍ර​ම ක්‍රමයෙන් දෙන්නා අතර හොඳ හිතවත්කමක් සහ ආදරයක් ඇති වෙනවා. අන්තිමේදී ටයිගර් පතවුදි ප්‍රංශයේ රෝමාන්තික පැරිස් නුවරදී ෂර්මිලාට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඇයත් ඊට කැමති වෙනවා. 

ගොඩක් දෙනෙක් ඒ දවස්වලදී මේ විවාහය ​බොහොම කෙටි කාලීන එකක් ​වේවි කියල අනාවැකි පළ කළත්, 2011 දී ටයිගර් පතවුදි මිය යනකන් අවුරුදු 42ක් පුරා මේ දෙන්නා ආදරයෙන් විවාහ ජීවිතය ගත කරනවා. ඒ දෙන්නාගේ විවාහයේ සුන්දරම සිහිවටනය තමයි ඔවුන්ගේ පුතා වන ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන්.

 

මේ තවත් ක්‍රිකට් නායකයෙක් සහ නිළියක් අතර සිද්ධ වෙච්ච විවාහයක්. මොහොමඩ් අසරුදීන් කියන්නේ 90 ගණන් වල ඉන්දියානු කණ්ඩායමේ කැපී පෙනෙක පිතිකරුවෙක් සහ කණ්ඩායම් නායකත්වය පවා ඉසිලූවෙක්. සංගීතා බිජ්ලානි මිස් ඉන්දියා තරඟය ජයග්‍රහණය කරමින් බොලිවුඩයට පිවිසුණු නිරූපණ ශිල්පිණියක්. ආදායම් වාර්තා පිහිටුවන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපට වුණු “ත්‍රිදේව්”, “හත්‍යාර්”, “ජුර්ම්” වැනි චිත්‍රපට හරහා යම් ජනප්‍රියත්වයක් ඒ වන විට ඇය ලබාගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි, ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන් එක්ක අවුරුදු 10ක් විතර තිස්සේ පැවතුණු ප්‍රේම සම්බන්ධයකුත් ඇයට තිබුණා. සල්මාන්-සංගීතා දෙන්නා විවාහ ගිවිසගෙනත් හිටියේ ඒ වෙනකොට. හැබැයි කවුරුත් නොහිතපු විදිහට විවාහක පුද්ගලයෙක් වුණු මොහොමඩ් අසරුදීන් එක්ක සංගීතා ප්‍රේ​ම සම්බන්ධකමක් පටන් ගන්නවා. අන්තිමේදි මේක කෙළවර වෙන්නේ මොහොමඩ් අසරුදීන් තමන්ගේ එතෙක් පැවතුණු විවාහයත් කටුගාලා සංගීතා එක්ක විවාහ වීමෙනුයි. ඒ කාලයේදී මේ සම්බන්ධතාවයට ඉන්දීය සමාජයෙන් එල්ල වුණේ දැඩි අප්‍රසාදයක්. කො​හොම වුණත් 2010 අවුරුද්දේදී අසරුදීන්- සංගීතා විවාහය බිඳ වැටෙනවා.

 

යුවරාජ් සිං ගැන නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. යුවරාජ් කියන්නේ ක්‍රීඩා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතයෙත් බොහොම දුෂ්කරතා සහ බාධාවන්ට ලක්වුණු ක්‍රීඩකයෙක්. පිළිකා මාරයා එක්ක සටන් කරලා ජයගන්නත් යුවරාජ් සමත් වෙනවා. හේසල් කීච් කියන නම කිව්වම නම් ගොඩ දෙනෙක්ට ​ඒ කවුද කියලා එකපාර මතක් වෙන එකක් නම් නැහැ. ඒත් ඇය බොලිවුඩ් සිනමාවේ අයිටම් නම්බර් හරහා ප්‍රසිද්ධියට පත් වෙච්ච, බ්‍රිතාන්‍ය සම්භවයක් සහි​ත නිළියක්. සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ “බොඩිගාඩ්” චිත්‍රපටයේ ඇය සහාය චරිතයක් රඟපානවා. හේසල් කීච් සහ යුවරාජ් මුලින්ම මුණ ගැහෙන්නේ දෙදෙනාගේ මිතුරෙකු​ගේ සාදයකදී. ඒ දැන හැඳුනුම්කමත් එක්ක යුවරාජ් හේසල්ට සමීප වෙන්න උත්සාහ කළත්, යුවරාජ් මුණ ගැහෙන්න කරන ආරාධනා හේසල් මුලදී ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරතුර පිළිකා රෝගය නිසා ජීවිතය එක්ක සටන් කරන්නත් යුවරාජ්ට සිද්ධ වෙනවා. කාලයක් ගතවෙලා ආයෙත් දෙන්නා අතර කතාබහ ඇති වෙද්දී​ හේසල් යුවරාජ්ව හමුවෙන්න තීරණය කරනවා. ඉන් පස්සේ තමයි දෙන්නා තවත් සමීප වෙන්න පටන් ගන්නේ. ඉන් පස්සේ 2015 වසරේදී යුවරාජ් සහ හේසල් විවාහ ගිවිස ගන්නවා. 2016 දී දෙන්නා විවාහ පත් වෙනවා. විවාහයෙන් පස්සේ තමන්ගේ නම “ගුර්බසන්ත් කොවූර්” හැටියට වෙනස් කරගන්නත් හේසල් කටයුතු කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here