මතක දිගහැරුම 45 – අප්සාරි සිංහබාහු තිලකරත්න – Saru News Media

0
2

හතලිස්පස්වන දිගහැරුම ,

කෙසේ හෝ එශාන්ත නැමති මගේ මිතුරාට නිතරම අවශ්‍ය වූයේ හශාන් තිලකරත්න නැමැති ඔහුගේ මිතුරාට මා මුණගැස්වීමට ය.අනිවාර්යයෙන්ම මා ඔහු මුණ ගැසිය යුතු බවත් ඔහු ඉතා හොඳ පුද්ගලයෙකු බවත් එශාන්ත නිතරම වාගේ මා හට පැවසීය.ඒ වගේම ඔහු හශාන් සමඟ මා පිලිබඳවත් ඒ වන විට පවසා තිබුණි.ඔවුන් දෙදෙනා Novotel Hotel වෙත ගිය අවස්ථාවන් වලදී , ශ්‍රී ලාංකීය තරුණියක මෙහි පැමිණෙන බවත් ,ඇය සමහර අවස්ථාවන් වලදී තනිවම පැමිණ ආහාර ගනිමින් සංගීතයට සවන් දෙන බවත් ,තවත් අවස්ථාවන්වලදී මිතුරන් සමග පැමිණෙන බවත් ,ඇය කා සමඟවත් කතා නොකරන ඉතා ආඩම්බර තරුණියක් බවත් එශාන්ත විසින් හශාන්ට පවසා තිබුනි.එම සියලු විස්තර එශාන්ත මා හා දුරකථනයෙන් පැවසුවේය.

පසුගිය දින වල Novotel Hotel වෙත මා නොපැමිණි නිසා තමන්ගේ මිතුරාට මා මුණ ගැස්වීමේ අවස්ථාව මග හැරුනු බැවින් , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ නිවසේ පැවැත්වෙන රාත්‍රී සාදය වෙත පැමිණෙන්නැයි එශාන්ත මට ආරාධනා කළේ ය .මම එම ආරාධනාව පිළිගෙන හවස් වරුවේ ඔවුන්ගේ නිවසට පැමිණෙනවා යැයි පොරොන්දු වී එශාන්ත සමග කෙරුනු දුරකතන සංවාදය අවසන් කළෙමි.

දුරකථන ඇමතුම අවසන් කර සුළු මොහොතකින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන සාදයට මා සහභාගි වෙන්නේ කුමට දැයි මට සිතුනි.අනෙක් අතට එය එශාන්තගේ නිවසේ පැවැත්වෙන සාදයක් නිසා එයට මා සහභාගී වීම සුදුසු නැතැයි ද මා සිතුවෙමි.එම නිසා මා නැවතත් ඉක්මනින්ම එශාන්තට දුරකථන ඇමතුමක් ගතිමි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සාදයට මගේ පැමිණීම අත්‍යවශ්‍ය නොවන බවත්, එශාන්ත සහ ඔහුගේ බිරිඳ වන කුමී මුණගැසීමට වෙනත් දිනයක ඔවුන්ගේ නිවසට පැමිණෙන බවත් මා ඔහුට පැවසුවෙමි. නමුත් ” අනේ කොහොම හරි එන්න සඳ ” යනුවෙන් ඔහු කිහිප වරක්ම මට ඇවිටිලි කරන්නට විය.ඔහුගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් මා නැවත දුරකථන ඇමතුම අවසන් කළෙමි

ඉන්පසුව මා විවේක සුවයෙන් මගේ නවාතැනට වී සිටින විට මගේ මිතුරියන් වන ආර්තී සහ අංජලීද නවාතැනට පැමිණියහ.රාජකාරි අවසන් කොට දින ගණනාවකට පසුව නැවත මා පැමිණ සිටීම ඔවුන්ගේ සතුටට හේතු වූ බැවින් ඔවුන් නවාතැනට ඇතුළු වූයේම සතුටින් කෑ ගසා ගෙනය.සාප්පු සවාරියක් ගොස් පැමිණි ඔවුන් දෙදෙනා සමඟ මා විස්තර කතා කරමින් සිටින විට මගේ මිතුරා වන එශාන්ත කළ ආරාධනාව පිළිබඳව නිකමට මෙන් මා ආර්තීට සහ අංජලීට පැවසුවෙමි.ඉන්දියානුවන් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අතිශය උනන්දුවක් දැක් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව විස්තර ද හොඳින්ම දැන සිටි අතර මා පැවසු ආරංචියෙන් පසුව ඔවුන් දෙදෙනාම සතුටින් කෑගසන්නට විය.කෙසේ හෝ ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ව මුණගැසීමට ය. ඔවුන්ව එහි රැගෙන යන ලෙස කියමින් ඔවුන් දිගින් දිගටම මට ඇවිටිලි කරන්නට විය.ඔවුන් දෙදෙනාගේ ඇවිටිලි කිරීමේ නිමාවක් නොවන තැන මම නැවත එශාන්තට දුරකථන ඇමතුමක් ගතිමි.

මගේ මිතුරියන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් මුණගැසීමේ දැඩි ආසාවකින් පසුවන නිසා ,අප රාත්‍රී ආහාරයට පිටතට යන විටදී සුළු වේලාවකට පමණක් ඔවුන්ගේ නිවසට පැමිණෙන බව මා එශාන්තට පැවසුවෙමි. මා එහි ගෙන්වා ගැනීමේ කැමැත්තෙන් සිටි එශාන්ත, මා මගේ මිතුරියන් දෙදෙනා සමග පැමිණෙන බව කී විට අතිශය සතුටට පත්විය.ඉන්පසුව ඉක්මනින් සූදානම් වූ මා සහ මගේ මිතුරියන් දෙදෙනා එශාන්තගේ නිවස බලා යාමට පිටත් වූයෙමි.

එශාන්තගෙ නිවසට අප තිදෙනා යනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහි පැමිණ තිබුණි.ඒ වන විට සාදය ආරම්භ වී තිබූ නිසා අප තිදෙනා එහි ගොස් අසුන්ගෙන මද වේලාවක් සිටි අතරතුරදී එශාන්ත විසින් අප සිටි ස්ථානයට හෂාන් තිලකරත්න නැමැති ඔහුගේ මිතුරාව කැඳවාගෙන පැමිණියේය.ඉන් පසුව අප තිදෙනාව පෙන්වා මේ තමන්ගේ මිතුරියන් යැයි පැවසූ එශාන්ත මා අසලට පැමිණ හශාන් හට මා පෙන්වා ,

” මේ ඉන්නේ මගේ හොඳම යාළුවා අප්සාරි. මෙයා එමිරේට්ස් වල fly කරන්නේ.මෙයා ගැන තමයි මම ඔයාට කිව්වේ ” යනුවෙන් පැවසීය.

හෂාන් ඒ අවස්ථාවේදී මා හා සිනාසී හොඳින් කතා කතාබස් කළේය.ඒ මා හශාන් සමඟ මුහුණට මුහුණ මුණ ගැසී කතා කළ පළමු අවස්ථාව විය.ජීවිතයේ මට කිසිදු දිනයක අමතක නොවන අවස්ථාවක් වශයෙන් එම අවස්ථාව මට කිව හැකිය

මතු සම්බන්දයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here