මවට අභූත චෝදනා කරමින් දෙමාපියන් අතර ගැටුම් නිර්මාණය කළ දියණියක්. – Saru News Media

0
1

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

දරුවන් වෙනුවෙන් පවුල් ජීවිතය ගෙවා දැමීම අපේ සමාජයේ බොහොමයක් යුවල කරන දෙයක් වෙලා අවසන්.තමන් අතර කිසිම සම්බන්ධතාවයක් නොපවත්වා ඔවුන් පවුල වෙනුවෙන් රැඳෙන්නේ දරුවා ගැන සිතමින්.
මෙහි ඇති ගැටළුකාරී බව අද අපි කතා කරමු.

මනෝවිද්‍යා උපදේශිකාවක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ එවැනි කතාවක් ගැනයි.

කපිල සහ වසන්ති විවාහ වෙලා දැන් අවුරුදු දහ අටක්.ඔවුන්ගේ එකම දියණිය සෙනුරිට වයස දහසයක්.ඔවුන් උපදේශනයට එන්නේ ඔවුන්ගේ ගැටලුව බොහෝ ඔඩු දිවූ පසුවයි.මේ ඔවුන්ගේ කතාවයි.

විවාහයෙන් නොබෝ දිනකින් වසන්ති ගැබ් ගත් මොහොතේ සිට කපිලට අවශ්‍ය වූයේ දියණියක්.

“එයා දුවෙක් වුණොත් ෂෝක් නේද වසා..”

කපිලගේ බලාපොරොත්තු සඵල කරමින් ඔහුගේ රෝස මල මෙලොව එළිය දකිනවා.ඇත්තටම සෙනුරිට අම්මා ඕනෑ වෙන්නේ කිරි බොන්නට පමණයි.ඇය නහවා නිදි කරන්නේ කපිල විසින්.තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන ගිය කපිලට නිවසේ රැඳෙන්නට ඕනෑතරම් වෙලාව තිබුණා.

“මට අම්මා කවන ඒවා එපා..තාත්ති කවන්න..”

“මං තාත්ති පැටියගෙ විතරයි..”

“මං ඉපදුණේ අම්මිගෙ බඩෙන් නෙවෙයි.තාත්තියට සුරංගනාවියෝ මාව දීලා ගිහින්..”

කුඩා සෙනුරිගේ හුරතල් කතා එහෙම වෙද්දී වසන්ති උද්දාමයට පත් වෙන්නේ “මං නම් හරි නිදහසකින් ඉන්නේ.සෙනූ බබාට තාත්තා හිටියම ඇති”කියමින්.

සෙනුරි රාත්‍රියට නිදන්නේ කපිලට තුරුළු වී ඔහුව වැරෙන් බදාගෙනයි.වසන්ති මඳක් හෝ කපිලට ළං වුවහොත් ඇයට පයින් ගහන්නට සෙනුරි මැලි වන්නේ නෑ.සෙනුරිගේ පෙර පාසල් ජීවිතය එනතුරුම කපිලටත් වසන්තිටත් ලිංගික ජීවිතයක් ලැබෙන්නේ නෑ.ඇය පෙර පාසල් ගියාම තමයි ඔවුන් එයට ඉඩ හසර හදා ගන්නේ.

“වසා,අපි ආයේ බබාලා නොහදා ඉමු.සෙනූ කැමති වෙන්නේ නෑ මාව බෙදා ගන්න. “

කපිල එවැන්නක් යෝජනා කරනවා.දරුවන් හත අටකට වුවත් සැපපහසුකම් දෙන්නට ඉඩ ඇති නිවසක යුවලක් එක් දරුවෙකුගෙන් නවතින තීරණයක් ගන්නේ එහෙමයි.

“අම්මා උයන කෑම මෙලෝ රහක් නෑ..”

“අම්මා හෙන ලස්සනයි කියල හිටියට එයා මාර කැතයි නේද තාත්ති..”

සෙනුරි ක්‍රම ක්‍රමයෙන් එවැනි දේ කියන්නට පටන් ගන්නේ අවුරුදු දහය දොළහ කාලයේ දී.එයට වසන්ති විරුද්ධ වෙන්නේ එවැනි කතා දරුවෙකුට නුසුදුසු බව කියමින්.නමුත් සෙනුරි දිගින් දිගටම අම්මා පහත් කරන්නට පටන් ගන්නවා.

“පුතේ, ඔයාට ලස්සන රූම් එකක් තියනවනෙ.මගෙ පුතා දැන් ඒකෙ නිදා ගන්න..”

සෙනුරි වැඩිවියට එළඹී උත්සවය ගත් රාත්‍රියේ වසන්ති ආදරයෙන් ඉල්ලීමක් කරනවා.සෙනුරි ඉතා ප්‍රකෝපයෙන් හැසිරෙමින් අම්මා සමඟ රණ්ඩු වී තාත්තාගෙන් තමා ඈත් කිරීම අපහසු බව කියමින් හඬන්නට ගන්නවා. ඇය තමන්ගේ ඔසප් වේදනා පවා පවසන්නේ තාත්තාටයි.අම්මාට ඇගේ දේවල් වැඩක් නැති බව සෙනුරි නිතරම කියනවා.

ගැටළුව මතු වන්නේ සෙනුරිට වයස දහසයක් පමණ වූ පසු.අම්මා පිටුදකින්නට සහ අපහාස කරන්නට පුරුදුව සිටි සෙනුරි අම්මාට පහත් චෝදනා කරන්නට පටන් ගන්නවා.

“තාත්ති, අර අපේ ඩ්‍රයිවර් ගාමිණී එක්ක අම්මගෙ කැත සම්බන්ධයක් තියනවා.”

“තාත්ති, අම්මා අර එහා ගෙදර නාලක අංකල් එක්ක යාලුයි.මට හරි අප්පිරියයි.”

“තාත්ති, අම්මා ටීවි එකේ ඉන්න නලුවෝ දිහා අප්පිරියා හිතෙන තාලෙට බලන් ඉන්නේ..”

මේ සියල්ල අභූත චෝදනා බව කපිලට සැක නැහැ.සෙනුරි නිසාම රිසිලෙස ලිංගික ජීවිතයක් ගෙවන නිදහසක් නොතිබූ නමුත් වසන්ති පතිනියක ලෙස ඉතා උතුම් කාන්තාවක් බව කපිල දන්නවා.

සෙනුරිගේ අමුතු හැසිරීම ගැන ඇයට විද්‍යාව උගන්වන්නට නිවසට එන තරුණ ගුරුවරිය ගැන වසන්ති සාකච්ඡා කරනවා.උපදේශනයට යොමු වීමට ඔවුන් පොළඹන්නේ ගුරුතුමියයි.

මේ ගැටළුව ගැන රත්නා මහත්මිය ඔබට පවසන්නේ මෙවැන්නක්.

ළමා සහ පවුල් උපදේශනයේ දී නිතරම ලබා දෙන උපදේශයක් තමයි දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වූ පසු වෙනම නිදි ක‍රන්න කියලා.ඒ වගේම විවාහයට පසු මරණය දක්වාම යුවළක් එක කාමරයක එකම ඇඳක නිදා ගන්නට පුරුදු වෙන්න ඕනෑ. ආදරය, උණුසුම බොහෝ ගැටළුවලට විසඳුමක්.ඔබ එකිනෙකාට ළංව සියල්ල විසඳා ගන්නටත් ආදරය අලුත් කරගන්නටත් නිදන ඇඳ හොඳම තැනක්.

oedipus and electra complex යන නම් වලින් හඳුන්වන මනෝවිද්‍යා සංකල්පයන් හිදී කියවෙනවා තාත්තාගේ ආදරය ගැන දුවෙකු අම්මාට ඉරිසියා කරන අන්දම.අනිත් කාරණාව දැන් අම්මලා බොහොම ලස්සනට ඉන්න කාන්තාවන් නිසා සමහර දියණියන් තමන් අම්මා තරම් ලස්සන නැතිවීම ගැන අම්මලාට ඉරිසියා කරන්න පුලුවන්.මේවා ඉතා සංවේදී කාරණා.ඒ නිසා මුල සිටම මේ ඊර්ෂ්‍යාව ඇති නොවන්නට ඔබ ප්‍රවේසම් වෙන්න.අඹුසැමි සම්බන්ධතාවයට දූදරු සම්බන්ධතා ගැටලුවක් කර ගන්න දෙන්න එපා.

දරුවන්ට ස්වාධීන වෙන්න ඉඩ හරින්න.එය ඔවුන්ගේ අනාගත ජීවිතයටත් පෞරුෂයටත් එය ඉතාම වැදගත්.ඔබේ තුරුලේ ගසාගෙන හිඳීම ඔබේ පවුල් ජීවිතය වගේම ඔවුන්ගේ අනාගතය පවා අනතුරක හෙළන්නක් බව අමතකම නොකළ යුතු සත්‍යයක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here