මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ: ජනපති – Saru FM Media

0
49


ඒ මහතා මේ බව පැවසුවේ, “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් අද (01) දින පස්වරුවේ සිදු කරමිනි.

ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය:

අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම බාර ගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිද භාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැමවිටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලුදෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබදවත් මම ඔබව දැනුවත් කළා.

පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොළු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී , අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳ දරා ගත් නිසයි.

මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳ දරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාවය පිරිනැමීමට මම කැමතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා.


Saru Fm Media