පූසො කියන්නේ සමහරු බෙහෙවින් ප්‍රිය කරන සහ තවත් අය පිළිකුල් කරන, අහිංසක වගේ පෙන්නගෙන ඉන්න මහ කපටි අම්මණ්ඩිලා සෙට් එකක්. හැබැයි පූසන්ට කැමති වුණත් නැතත් පූසන්ගේ ගති ලක්ෂණ තියෙන අය ඕන තරම් ඉන්නවා. පූසෙක් වගේ ඤාව් ගෑවේ නැති වුණාට, වල්ගේ කරකවලා ගොදුරු ඇල්ලුවේ නැති වුණාට ඔය උපාසක බළල්ලු තමයි මීයො දෙන්නා දෙන්නා අල්ලන්නේ.
පූසන්ට නිදාගන්න තියෙනවා නම් ඒ හැර තවත් සැපතක් නැහැ. හරියටම කිව්වොත් පූසො දෙන්නෙක් විතර ඉන්න ගෙවල්වල හොඳට කාලා බීලා හැදෙන, එකෙක් මීයො අල්ලද්දි අනිත් එකා මේ ජාතියෙ එකෙක් බවට පත් වෙනවා. ඌට කෑවාම නිදිමතයි, නැගිට්ටාම බඩගිනියි. කණ ළඟින් මීයෙක් ගියත් දවල්ට රෑට ගාණට කෑම හම්බෙන බව දන්න නිසා ඌ ඔහේ ඉන්නවා. ඕන නම් ඒ මීයවත් බදාගෙනම නිදාගනීවි. එච්චරට සැපට නිදාගන්න එක ලොකුයි. ඔෆිස් එකට ගියාම, ගෙදර ඉන්න දවසට ඒ කිව්වේ දිනපතාම අපිත් මේ වගේ කකා බිබී බොඩි නෙවෙයි බඩ බිල්ඩිං කර කර ඉන්නවා නම් අර තඩි කම්මැලි ගාෆීල්ඩ්ගෙයි අපෙයි වෙනසක් නෑ මචං.
කන්න ගියාම පූසන්ට මෙලෝ සිහියක් නෑ. දවස් ගාණකින් මාළු කෑල්ලක් දැකපු නැති පූසෙක්ට මාළු කෑල්ලක් දීලා බලන්න. ඌ දන්නෙම නැතුව ඒක කද්දි නානාප්‍රකාර සද්ද දානවා. තව දෙතුන් දෙන්නෙක් ළඟ හිටියොත් එහෙම නැත්නම් අපි හරි උගේ මාළු කට්ට උදුරගෙන කාවි කියලා හෙන බයෙන් කාලා කාලා අන්තිමට කටු උගුරෙයි දත්වලයි හිරකරගෙන පිස්සෙක් වගේ ආයෙ කෑ ගහනවා. අපේ එවුනුත් කන්න බොන්න ගියාම මෙලෝ සිහියක් නෑනේ. එකෙක්ගෙ අත කෙලින්ම බිත්තරේට, අනිත් එකා මස් කෑල්ල බදාගන්නවා, අන්තිමට අනිත් එවුන්ට කන්න දේකුත් නෑ අරුන්ට බිත්තරේ නයා වගේ ගිලගන්නත් බෑ. ඉතින් බෙදාගෙන නැතුව බදාගෙන කනවා නම් අපිත් හොඳ පූසො තමා.
පූසන්ට අහඹු වෙලාවල දවසක් වෙලාවක් නැතුව ඔටෝ චූන් යනවා. දවල්ට කෙසේ වෙතත් රෑට ගෙදර මිනිස්සු නිදාගන්න ගියාට පස්සේ ගේ දෙක කරන්න මේ උන්දැලා ගේ පුරාම දුවනවා, බඩු පෙරළනවා. දවල්ට වුණත් මිදුල පුරාම පිස්සෙක් වගේ දුවනවා, එහෙමම ගිහින් නතර වෙන්නේ ගස්වල මුදුනේ. අන්තිමට බැහැගන්න බැරුව හෙන ගේමක් දෙනවා. වේගෙන් එළියේ ඉඳලා ගෙදරට දුවගෙන ඇවිත් බ්රේක් ගහලා ඩ්‍රිෆ්ට් කරලා නවතින්නේ ගෙදර එහා කෙළවරේ. ඔෆිස් වල හිටි ගමන් ටොයිං වෙන නාකි මනමාලයො ඉන්නවා නේද? ඒ වගේම වැඩ කර කර ඉන්න අතරතුරේ කූඹි පේළියක් මේසෙ උඩ දැක්ක ගමන් මෙලෝ සිහියක් නැතුව කෑ ගහන කෙල්ලො ඉන්නවා නේද? ඔහෙ හිටපු දෙන්.
නියපොතු මැදීම කියන්නේ පූස් අයියලාගේ අනිවාර්ය අංගයක්. මොකෝ උන් නියපොත් කටර් අරගෙන කපාගන්නයැ. ඉස්සර පූසෝ ගස් ගල්වල මේ දේ කළාට දැන් ඉන්න ඩයල් බයික් සීට් එකේ, වාහන ටයර්වල, පුටුවල, මේස කකුල්වල එහෙම ආතල් එකේ හූරලා නියපොතු කොට කරගන්නවා. ඌට ගාණක් නෑ මේ මිනිස්සු මේවා ගත්තේ කොච්චර අමාරුවෙන්ද, මෙහෙම කරලා අහුවුණොත් හරිනෑ නේද, මට කන්න දෙන උන්ට මෙහෙම කරන්න හොඳද කියලා. ඌ බලන්නෙ උගෙ අප්පගෙ ලේසිය විතරයි. සමාජෙත් අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව තමන්ගෙ වාසියයි ලේසියයි බලාගෙන අනිත් අයගෙ දේවල් වගේම පොදු දේපළත් විනාශ කරලා වැඩේ කරගන්න අය ඉන්නවා. ආ ඔව්, පොඩියට තරහ ගියත් කොල්ලව හූරන කෙල්ලොත් ඉන්නවා. එයාලා සහ බොස්ලා ඉපදිලා ඉන්නේ උඹේ පඩිය සහ ශ්‍රමය සූරාකන්න තමා.
ටිකක් ඉන්නකොට පූසොන්ට එකපාරම මතක් වෙනවා කන්න දුන්න අත හූරන්න හොඳ නෑ කියලා. එතකොට ෂේප් න්‍යායෙන් ඇවිත් ගෙදර තමන්ට ෂේප්ම කෙනා ගාවට ගිහින් ඔළුව අතුල්ලනවා, පුරු පුරු ගානවා, බිම පෙරළෙනවා, කන් දෙක කකුලේ ගානවා. හම්මේ ආදරේ! කෑම බඩගින්නක් නැතුව හරි මෙහෙම ඇවිත් ආදර හුරතල් පාලා යන්නේ ඌ අනාගතේ ගැන හොඳට අපිට වඩා ප්ලෑන් ගහන නිසා. අවුරුද්ද තිස්සේම ගේම් ගහලා, ගහමරා ගෙන අන්තිමට අලුත් අවුරුද්දට සියළු තරහ මරහා අමතක කරන්න තෑගි දීලා, පසඟ පිහිටුවා වැඳලා අපි ෂේප් වෙන්නෙත් මේ විධියටම තමයි. සියළු පව් එදාට සමා කරගෙන ආයෙ පස්සෙන්දා ඉඳලා පරණ එකා බවටම පත් වෙනවා. මොනවා හරි උදව්වක් ඕන වීගෙන එන බව ඉව වැටුණාම සතියක් විතර කලින් ඉඳලා අපි එක්ක බොක්ක දීගෙන ඉන්න අය ඉන්නවා නේද? ඔය පුරු පුරුව වැඩි හොඳකට නෙවෙයි.
ඉතින් දැන්වත් පූස් වැඩ නොකර, කන්න දුන්නත් නැතත් නැට්ට වනන බලු වැඩ කරන්න පුරුදු වෙන්න.
Cover Image Source – wordpress.com / youtube.com / funnyjunk.com
Saru Fm Media