ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් නිසා රට මේ වන විට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
ඊට දායකවූ රජයේ නිවැරදි ප්‍රතිපත්තිවලට මෙන්ම ජනතාවගේ සාමූහික කැපවීමට ස්තූතිවන්ත වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ
මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා
යහපත් අනාගතයක් සඳහා වන ප්‍රතිසංස්කරණ විස්තර කෙරෙන මාර්ග සිතියමක් සමඟින් ශ්‍රී ලංකාව සාමූහික වර්ධනයේ සහ සෞභාග්‍යයේ ගමනක් සඳහා සූදානම් බවයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා
ප්‍රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
ඇතැම් කණ්ඩායම් රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැපවී සිටීම වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ජීවන වියදම අඩුවීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම, දුප්පතුන්ට සහන සැලසීම සහ විනිවිදභාවය පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමට හේතු වනු ඇති බව, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට රජය දරන ප්‍රයත්න ගෙනහැර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
අභියෝගාත්මක කාලසීමාව තුළ රට කෙරෙහි ඇති ලැදියාවෙන් මෙහෙයවන ලද සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් කෙටි කාලයක් මෙම මාවතේ ගමන් කිරීමෙන් දුෂ්කරතාවලින් තොර ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයක් ළඟා කර ගත හැකි බව ප්‍රකාශ කළේය
දැඩි මූල්‍ය පාලන සහ පිරිවැය ඉතිරිකිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් උද්ධමනය අඩුවීම සහ ප්‍රේෂණ ඉහළ යාම ඇතුළු ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවී ඇති බවත්, සැමගේ ජීවන බර සැහැල්ලු කරමින් 70% දක්වා ඉහළ ගොස් තිබූ උද්ධමනය, අද වන විට 25.2% දක්වා පහළ ගොස් ඇති බවත් එම සහනය මේ වන විට රට භුක්ති විඳින බවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට නැවත ඇද දැමීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම තම ඉලක්කය බවත් ‘ජාතික පරිවර්තන මාර්ග සිතියම’ රටට පිළිගන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය
2048 වන විට, රට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම තම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය නවීන ලෝකයට සහ නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි හැඩගස්වා නොගතහොත් රට පසුබෑමකට ලක් වනු ඇති බවද පැවසීය
රටේ සංවර්ධනය මූලික කුළුණු හතරක් මත පදනම් වන බව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එනම් රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ය
ඵලදායි ව්‍යාපාර යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සංඝායනා ක්‍රමවේදය හඳුන්වා දෙන බව ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය. මෙම නව ක්‍රමය තුළින් අමාත්‍යවරුන්, නිලධාරීන්, විෂය ප්‍රවීණයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් සම්බන්ධ වී, එහි පැන නගින බාධා විසඳීමට සහ පෞද්ගලික අංශය සක්‍රීයව සම්බන්ධ කරගනිමින් ආයෝජන සහ ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයයි
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාව ඉල්ලා සිටි ඉල්ලීම් 3ක් වන, දූෂණය මැඩලීම, සමාජයේ දිළිඳු සහ අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම, රජයේ ක්‍රියාමාර්ග සහ පිළිවෙත් හි විනිවිදභාවය සහතික කිරීමට රජය සක්‍රීයව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය
සංවර්ධනය සහ සෞභාග්‍යය සඳහා වූ මාර්ග සිතියම සඳහා ජනතා අදහස් එක්රැස් කිරීම වෙනුවෙන් ‘මහජන දිනයක්’ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මහජනතාවට දැක බලා ගැනීමට සහ එම ක්‍රියාවලියේදී පැන නගින ඕනෑම අභියෝගයක් හඳුනාගැනීමටත් ඒ සඳහා විසඳුම් සෙවීමටත් මෙම විනිවිදභාවය උපකාරී වනු ඇති බවද ඔහු පැවසීය.
දුෂ්කරතාවයකින් තොර ආර්ථික ස්ථාවරත්වයක් සහිත අනාගතයක් සඳහා රජය පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි
ජාතියේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරව ජනතාව හමුවේ තැබීමට තමන් කටයුතු කරන බව පැවසූ ජනාධිපති වික්‍රමසිංහ මහතා වසරේ අවසාන කාර්තුවේදී ජාතික පරිවර්තන සැලැස්ම එළිදක්වන බවද ප්‍රකාශ කළේය
Saru Fm Media