මොකක්ද මේ ඉන්දීය කොවිඩ් ලෙඩුන්ට හැදෙන කළු දිලීර රෝගය – Saru Media

0
21


ඉන්දියාවේ කොවිඩ් හැදුණු රෝගීන්ට අලුත් දිලීර රෝග ජාතියක් ඇති වෙලා. දීලීර කියන්නේ වසර මිලියන හාරසීයක් විතර පෘථිවියේ තියෙන ජීවී විශේෂයක්. හතු බිම්මල් කියලා හඳුන්වන දිලීර වර්ග අපි ආහාරයටත් ගන්නවා. ඒ වගේම සමේ ඇතිවෙන අළුහම් කියන වර්ණ වෙනස ඇතිවන්නේ දිලීර ආසාදනයකින්. ඉකිලි, කිහිලි, කණ, උගුර වගේ ස්ථානවල දිලීර ආසාදන ඇති වෙනවා. ඉතින් කොවිඩ් හැදුන අයට හිස් කබල ආශ්‍රිතව ඇතිවෙන දිලීර තත්ත්වයක් ගැන මේ දවස්වල ඉන්දියාවෙන් ඇහෙනවා. අපි ඒ ගැන කරුණු ටිකක් සොයා බලමු.

 

 

1. වෙන රටවල නැද්ද?

මේ දිලීර ආසාදන තත්ත්වය ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ යම් වැඩි වීමක් පෙන්නුම් කළත් ඉන්දියාවේ තරම් සුලභ වුණේ නැහැ. ඇතැම්විට ඉන්දියාවේ සාමාන්‍යයෙන් පවතින අපිරිසිදු තත්ත්වය මේ දිලීර ආසාදන වැඩිවෙන්නට හේතු වන්නට ඇති. දැනට වෙනත් රටවලින් මේ තත්ත්වය වාර්තා වෙනවා අඩුයි. මෙය කොවිඩ් හැදෙන රෝගීන්ගෙනුත් ඉතා සුළු ප්‍රමාණයකට තමයි වාර්තා වෙන්නේ. ඒත් ඉන්දියාව කියන්නේ දැනට කොවිඩ් ගම් පළාත් කරාත් ව්‍යාප්ත වුණ භූමියක් නිසා ඉන්දියාවට මේ කළු දිලීර රෝගය දරුණුවට බලපානවා.

 

 

2. ඉන්දීය තොරතුරු

කොවිඩ් නැති සාමාන්‍ය කාල වලදි මේක හැදෙන ලෙඩ්ඩු ඉන්දියාවේ උගුර, කණ, නාසා සායන වලින් වාර්තා වෙන්නේ අවුරුද්දකටම කීප දෙනෙක් විතරයිලු. ඒත් මෑතක කොවිඩ් රෝගය හැදුණු අයට මේ තත්ත්වය වාර්තා වීම අසාමාන්‍ය  ලෙස වැඩි වෙලා. ඇතැම් පළාත්වල තිහක් හතළිහක් තරම් වැඩි අගයක් මේ රෝගය වැළඳුණු අය ඉන්න බවට වාර්තා වෙනවා. කොවිඩ් හැදුණු, දියවැඩියා තත්ත්වය තියෙන අයට මේ රෝගය වැඩියි. ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ වලින් ප්‍රතිශක්තිය අඩු වීමත් මේ රෝග තත්ත්වය වැළඳෙන්න හේතු වෙනවා.

 

 

3. හැදුනම මොකද වෙන්නේ? 

මේ දිලීරය ඇස උගුර කණ නාසය වගේ තැන්වල අභ්‍යන්තරයේ බොහොම සරුවට හැදෙන දිලීර වර්ගයක්. මේක මොළයට ගිහින් මැරෙන්නත් පුළුවන්. ඒ නිසා හමුවන රෝගීන්ගේ උගුරු කොටස් අයින් කරලා, ඇස් අයින් කරලා ටිකක් වේදනාත්මක සැත්කම් වලින් තමයි ඇතැම් ලෙඩුන්ව බේරාගන්නේ. මේ සඳහා දිනකට ඩොලර් 45ක් වෙන බේත් කෝස් එකක් තියෙනවා. ඒවා ඉන්ජෙක්ෂන් විදිහට දින දහයක් විතර මේ රෝගීන්ට නියම කරනවා. ඒත් ඒ බෙහෙත් මිල වැඩි වීම දුප්පත් ඉන්දියානුවන්ට ප්‍රශ්නයක්.

 

 

 

4. ලෙඩේ බෝවෙන්නේ කොහොමද?

වාසනාවකට වගේ මේ ලෙඩේ දැනට රෝගියකුගෙන් රෝගියෙකුට බෝවෙන බවක් වාර්තා වෙලා නැහැ. මේ දිලීර අපේ ගෙවල් වල පවා කුණු කසළ පල්වෙන තැන්වල, කාබනික පොහොර වල අන්තර්ගත වෙන එකක්. මේක සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඉතාම කලාතුරකින් වාර්තා වෙන තත්ත්වයක් වුණත් කොවිඩ් තත්ත්වය සහ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා මේ කළු පුස් ලෙඩේ වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙනවා.

 

 

 

5. ස්ටීරොයිඩ සහ ප්‍රතිශක්තිය

ස්ටීරොයිඩ ඔසු කොවිඩ් වලට ලබා දීමෙන් පෙනහළු ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන්ට යම් සුවයක් ලැබෙනවා. ඒත් එයින් සමස්ථයක් විදිහට දියවැඩියා තත්ත්වයන් වැඩිවෙනවා. දියවැඩියා තත්ත්වය තියෙන, කොවිඩ් හැදිලා හොඳ වුණ රෝගියෙක්ගේ සිරුරේ ප්‍රතිශක්තිය සාපේක්ෂව අඩුයි. එතකොට අර වගේ කළු දිලීර ආසාදනයක් ආවම ඒක සැරටම ඔඩු දුවනවා.

 

 

6. රෝගය හඳුනාගන්නේ කොහොමද? 

ඇතැම් අය මේ කළු දිලීර හඳුනාගන්නේ කන් උගුර සම්බන්ධ රෝග නිසා. තවත් අයට ඇස් වල ඇතුළේ මෙම දිලීර හැදිලා ඇස් පේන්නෙ නැතුව ගියාම තමයි රෝහල් වලට රෝගීන් විදිහට වාර්තා වන්නේ. මෙය සිරුරේ වෙනත් තැන්වලත් ඇතිවෙන් පුළුවන් වුණත් හිස හා සම්බන්ධ කුහර ආදියේ මෙම දිලීරය වැඩිදුර වර්ධනය වෙනවා සහ එවිට රෝගීන්ට අපහසුතා ඇති වෙනවා වැඩියි. දැන් උගුර, කණ, නාසය සායන වලින් වගේම ඇස් රෝගී සායන වලිනුත් මේ කළු දිලීර රෝග තත්ත්වය වැඩිවුණු රෝගීන් වාර්තා වෙලා තියෙනවා.

 

 

7. රෝග පාලනය

මේ වගේ රෝග තත්ත්වයක් තවම ලංකාවෙන් නම් වාර්තා වෙලා නැහැ. ඉන්දියාව මේ තත්ත්වය හඳුනාගෙන කොවිඩ් රෝගීන්ට කරන ප්‍රතිකාර ගැන නැවත සැළකිලිමත් වෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වගේම කොවිඩ් හොඳ වී ගෙදර ගියත් දියවැඩියා වැනි රෝගී තත්ත්වයන් තිබෙන රෝගීන් ගැන අවධානයෙන් ඉන්න කියලා ඉන්දීය අංශ දැනුම් දීලා තියෙනවා. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමු වෙලා තියෙනවා.

 

කොවිඩ් කියන්නේ දරුණු ලෙඩක්. ඒ රෝගයට ගොදුරු වුණාම සිරුර දුර්වල වෙනවා. ඒ එක්ක ඉන්දියාව වැනි රෝග පැටවු ගහන දේශ වල වෙනත් ලෙඩ රෝග ආබාධත් ඒ කොවිඩ් හැදුණු රෝගීන්ට වැඩි වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් අපේ රටේ සෞඛ්‍ය අංශත් දැනට මේ ගැන අවධානයකින් ඇති. කොහොම වුණත් කොවිඩ් රකුසා පෙනහළු වලට පමණක් විණ කරලා නවතින පාටක් නැති බව තමයි මේකෙන් පේන්නේ.

 





Saru News