මොකද්ද මේ Corning Gorilla Glass කියන්නේ? – Saru News Media

0
10

දැන් ඔය ස්මාට්ෆෝන් එකක් එහෙම මිලදී ගන්න ගියහම බලන එක එක කරුණු කාරණ තියෙනවනේ. මේකේ කැමරාව කොහොමද, මෙමරිය කොහොමද වගේ අහන අටෝරාසියක් ප්‍රශ්න අතරින් එකක් තමයි “මේකේ ගෝරිල්ලා ග්ලාස් එකද තියෙන්නේ” කියන එක. සමහරු නං දන්න චිම්පන්සි ග්ලාස් එකක් නෑ. ඒත් තව සමහරු දන්නවා ගෝරිල්ලා ග්ලාස් කියලා තියෙන සීන් එක ෆෝන් එකේ ස්ක්‍රීන් එක ආරක්ෂා කරනවා කියලා. ඉතින් අපි හිතුවා, ස්මාට්ෆෝන් වලට එන සුවිශේෂී තාක්ෂණික අංගයක් වෙන ගෝරිල්ලා ග්ලාස් ගැන පොඩ්ඩක් විස්තර කියන්න. එතකොට ස්මාට්ෆෝන් එකක් තෝරගන්න ගියහම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගෝරිල්ලා ග්ලාස්ද කියලා අහලා, ගෝරිල්ලා ග්ලාස් ගැන ෆෝන් කඩේ අයියටත් උගන්නලම එන්න පුළුවන්.

 

ගෝරිල්ලා ග්ලාස් කියන්නේ ඩිස්ප්ලේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ දැන් ඔය ස්මාට්ෆෝන් එකක් ගත්තහම, බිම වැටුණොත්, මොකක් හරි වැදුණොත් එහෙම ලේසියෙන්ම බිඳෙන්න හැකියාව තියෙන්නේ මොන කෑල්ලද? සාපේක්ෂව බැලුවහම ඩිස්ප්ලේ එක නේද? ආන්න ඒ ඩිස්ප්ලේ එකට ඒ නිසා අමතර ආරක්ෂාවක් ලබාදෙන එක තමයි ගෝරිල්ලා ග්ලාස් එකෙන් කරන්නේ. දැන් ඔය ඉහළ පරාසේ ස්මාට්ෆෝන් වල පිටිපස්සෙත් වීදුරු පැනල් එකක් දාලා එනවනේ. මෙව්වා නිකම් එක පාරක් බිම වැටුණු ගමන් බිඳෙන වීදුරු පැනල් නෙවෙයි. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකේ බඳට සාපේක්ෂව මොකක් හරි වෙලා බිඳෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා ඔය පිටුපස්සේ වීදුරු පැනල් එකේ උඩටත් ගෝරිල්ලා ග්ලාස් ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එක ඉහළ පරාසයේ ෆෝන් වල ඇතුළත් කරනවා. ඒ වගේම ස්මාට්ෆෝන් වලට විතරක් නෙවෙයි, ටැබ්ලට් වලට, කම්පියුටර්ස් වලට වගේ වැටීමෙන්, ගැටීමෙන් ආරක්ෂාව ඕන පැනල්  තියෙන ඕනම දේකට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි වෙනවා.

 

ඇත්තටම වෙළෙඳපොළේ තියෙන එකම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගෝරිල්ලා ග්ලාස් එක නෙවෙයි. තවත් තිර ආරක්ෂණ තියෙනවා. හැබැයි ඉතින් දැනට තියෙන හොඳම තිර ආරක්ෂණ තාක්ෂණය කියලා සැලකෙන්නේ ගෝරිල්ලා ග්ලාස් එක. දරා ගැනීමේ ශක්තියෙන් අති විශිෂ්ටයි. ඒ විතරක් නෙවෙයි, ගෝරිල්ලා ග්ලාස් ආරක්ෂණ වීදුරුව අතිශයින්ම සැහැල්ලු, සිහින් නිමාවකින් යුක්තයි. ඒකත් විශේෂත්වයක්. ඊට අමතරව ඉස්සර තිබුණු සමහර තිර ආරක්ෂණ වීදුරු වල වගේ ස්පර්ෂ සංවේදීතාවයට අවුලක් වෙන්නෙත් නෑ කියලා තමයි පාවිච්චි කරන අය කියන්නේ. ඉතින් ඔය ඔක්කොම කාරණා එක්ක තමයි ගෝරිල්ලා ග්ලාස් එක දැනට තියෙන හොඳම තිර ආරක්ෂණ තාක්ෂණය කියලා සැලකෙන්නේ.

 

ඇත්තටම කියනවා නම්, ගෝරිල්ලා ග්ලාස්  එකට කලින් Corning Inc.එකෙන් ගහපු වෙන ඩිස්ප්ලේ ප්‍රොටෙක්ෂන් තිබිලා තියෙනවා. හැබැයි කොම්පැණියේ ගොඩ ගියපු ප්‍රඩක්ට් එක තමයි ගෝරිල්ලා ග්ලාස් එක. විශේෂයෙන්ම 2005-2007 කාලේ අයිෆෝන් වලට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරපු එකෙන් තමයි මේක නැගලා ගියේ. අයිෆෝන් කියන්නේ ස්මාට්ෆෝන් වල ජනප්‍රියත්වයේ පුරෝගාමියා වුණු එකේ, ස්මාට්ෆෝන් වල ඉහළම ස්ටෑන්ඩර්ඩ් එක අයිෆෝන් කියලා මතයක් මිනිස්සුන්ගේ හිත් වල ඇතිවුණු එකේ, අයිෆෝන් එකට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරන එකෙන් ගෝරිල්ලා ග්ලාස් එකේ කොලිටිය ගැනත් මිනිස්සුන්ට ෂුවර් එකක් ඇතිවෙනවනේ, නැද්ද. කොහොම හරි කියන විදියට 2017 ඔක්තෝබර් වෙනකොට උපාංග බිලියන පහක් ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරනවාලු!

 

ඔය ස්මාට්ෆෝන් වල පරම්පරා යන විදියටම ගෝරිල්ලා ග්ලාස් එකේත් ජෙනරේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ Corning Gorilla Glass 1, Corning Gorilla Glass 2, Corning Gorilla Glass 3 විදියට ඇවිත් දැන් යන්නේ අලුත්ම Corning Gorilla Glass 6 එක. මේ නවතම ගෝරිල්ලා ග්ලාස් 6 එක හදලා තියෙන්නේ වැඩිදියුණු කරපු තාක්ෂණයෙන් සහ අමුද්‍රව්‍ය වලින් කියලා තමයි කියන්නේ. ඒ වගේම Corning Gorilla Glass 5 එකට වඩා සෑහෙන්න ශක්තිමත් සහ දැඩි ආරක්ෂණ වීදුරුවක් තමයි 6 එකේ එන්නේ. විශේෂයෙන්ම මීටරේක විතර උසක ඉඳලා රළු මතුපිටකට පහළොස් පාරක් විතර වට්ටලා බැලුවත් මේක බිඳෙන්නේ නෑ. එච්චරටම මේක දැඩියි. හැබැයි මේකත් පරණ වෙයි තව අවුරුද්දක් වගේ යනකොට. මොකද ස්මාට්ෆෝන් නවීකරණය වෙනවා හා සමානවම, ස්මාට්ෆෝන් වල භාවිතා වෙන අමතර තාක්ෂණික කාරණාත් අප්ඩේට් වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් තාක්ෂණයන් පවා මේ මොහොතේදීත් පරීක්ෂණයන්ට බඳුන් වෙමින්, තවත් නවීන සහ යාවත්කාලීන කරන්නේ කොහොමද කියලා හොයා බලමින් තමයි තියෙන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here