මොළයට චිප් එකක් ! – Saru FM Media

0
8


ජනමාධ්‍ය වලින් මෙවැනි පුවත් වලට මුල් තැනක් දෙන්නේ මෙතෙක් මිනිස් මොළයේ උදවුවෙන් පමණක් කළ හැකි වූ ක්‍රියාකාරකම් ගණනාවක් ස්වයංකරණය කිරීමේ හැකියාව වේගයෙන් වැඩිදියුණු වෙමින් තිබෙන හා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙන පසුබිමකයි. මෙම “විප්ලවය” සාමාන්‍ය මිනිසුන්ට එකවර ඇඟට දැනෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිදි චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟයි.

අධ්‍යාපන ආයතන වලට චැට්ජීපීටී දැනටමත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ආයතනයක් විසින් (හැම රටකම නොවේ!) රචනා චෞරත්වයට (plagiarism) එරෙහිව දැඩි ස්ථාවරයක සිටිනවා. මෙය කොයි තරම් බරපතල වරදක්ද යන්න පිළිබඳව ඇමරිකානු සිසුවෙකුටනම් කුඩා කාලයේ සිටම පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා, ඔවුන් සාමාන්‍යයෙන් මෙම වරදට පෙළඹෙන්නේ නැහැ. එහෙත් එම පුහුණුව නොමැති, වෙනත් රටවලින් ඇමරිකාවට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණෙන සිසුන් විසින් බොහෝ විට රචනා චෞරත්වය සිදු කරන්නේ මෙම වරදෙහි බරපතලකම තබා අඩු වශයෙන් තමන් මෙවැනි වරදක් කරන බව හෝ නොදැනයි. එක්තරා දුරකට මෙය සංස්කෘතික ප්‍රශ්නයක්.

චැට්ජීපීටී යුගයට කලින්ම අන්තර්ජාලය තොරතුරු වලින් පිරී ගියා. ගූගල් සෙවුමක දුරින් ඕනෑ තරම් දේ තිබුණු නිසා රචනා චෞරත්වයටද විශාල අවකාශයක් විවර වුනත් එවැනි ක්‍රියාකාරකම් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගද සමාන්තරව දියුණු වීම නිසා යම් අයෙකුට තමන් නොදැන හෝ මේ බරපතල වරද කර ඇත්නම් ඒ බව කලින් හඳුනා ගැනීමේ මාර්ග විවෘත වුනා. එමෙන්ම අවශ්‍ය අයෙකුට මේ වරද කරන්නන් අපහසුවකින් තොරව හඳුනාගත හැකි වුනා.

චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟ මේ තත්ත්වයෙහි වෙනසක් වී තිබෙනවා. එකම ප්‍රශ්නයට වුවත් එයින් දෙවරකදී එකම පිළිතුර නොලැබෙන නිසා මේ හරහා සිදු විය හැකි රචනා චෞරත්වය හඳුනා ගැනීම පහසු නැහැ. පැහැදිලි සැකයක් ඇති වුවත් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. මෙය අධ්‍යාපන ආයතන වලට අභියෝගයක්.

කෙසේ වුවත්, ඇමරිකාවේ අධ්‍යාපන ආයතන මෙම අලුත් තත්ත්වය හඳුනා ගනිමින් අනුවර්තය වෙමින් සිටිනවා. තාක්ෂනය වැඩි දියුණුවීම හා ප්‍රචලිත වීම නොවැලැක්විය හැකි අතර එසේ කළ යුතුද නැහැ. සිදුවිය යුත්තේ පවත්නා ආයතන හැකි ඉක්මණින් අලුත් තාක්ෂනය වැළඳගෙන අවශ්‍ය පරිදි අනුවර්තනය වීමයි. එසේ නොකරන ආයතනයකට වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. බොහෝ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශය වී තිබෙන්නේ සිසුන් මෙවැනි අලුත් මෙවලම් භාවිතයට ගැනීම දිරිමත් කරමින් හා ප්‍රවර්ධනය කරමින් එවැනි මෙවලම් පුද්ගල සංවර්ධනය පිණිස වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිලිබඳව මාර්ගෝපදේශනය කිරීමයි.

චැට්ජීපීටී යනු වේගයෙන් සිදුවෙමින් තිබෙන ස්වයංකරණ විප්ලවයක එක් කුඩා කොටසක් පමණයි. මීට පෙර මිනිසුන්ගේ කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යොදා ගෙන ඉටු කළ බොහෝ දේ මේ වන විට යන්ත්‍ර විසින් සිදු කරමින් සිටිනවා. බොහෝ දේවල් තවමත් මිනිසුන් අතින් සිදු වන්නේ තාක්ෂනය නැතිකමට වඩා ශ්‍රමය තව දුරටත් ලාබදායී නිසයි. යාන්ත්‍රික ශ්‍රමයේ පිරිවැය මිනිස් ශ්‍රමයේ (කායික මෙන්ම මානසික) පිරිවැය ඉක්මවා ගිය වහාම තත්ත්වය වෙනස් වෙනවා. මෙය නොවැලැක්විය හැකි පරිවර්තනයක්.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here