රඟපාලා ජනප්‍රිය වෙන්න කලින් වෙනස්ම රස්සාවල් කරපු බොලිවුඩ් නළු නිළියෝ – Saru FM Media

0
178


දැන් තරු වගේ බැබළුනාට මොකද සමහර බොලිවුඩ් නළු නිළියෝ එක පාරටම ක්ෂේත්‍රයට කඩා පාත් වුණු අය නෙමෙයි. ඒ අය තමන්ගෙ ජීවිත සටන ගෙනියන්​න නොයෙකුත් මාර්ග ඔස්සේ ගිහින් අන්තිමේදි රඟපෑමෙන් නතර වෙච්ච උදවිය. අපි බලමුද අද වෙද්දි ජනප්‍රිය බොලිවුඩ් තරු කීපයක් රඟපාන්න කලින් කරපු රැකියාවන් මොනවද කියල?

 

ඕනෑම චරිතයක් ලෙසටම ගොඩ දැමීමට සමත් බොලිවුඩ් නළුවෙක් තමයි නවසුදීන් සිද්දීක් කියන්නෙ. නවසුදීන් සිනමා රංගනයට පිවිසෙන්නට කලින් රසා​යනඥයෙක් හැටියට තමයි රස්සාව කරල තියෙන්නෙ. ඔහු රසායන විද්‍යාව සඳහා උපාධිධරයෙක්. වේදිකා නාට්‍යයක් නැරඹීමෙන් පස්සේ ක්ෂණිකවම රංගනය කෙරෙහි ආශාවක් ඇති කරගන්න නවසුදීන් ඉන් පස්සේ දිල්ලියේ ජාතික රංග​ පාඨශාලා​වට ඇතුළත් වෙලා රංගනය හදාරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ වේදිකා නළුවෙක් හැටියට රංගන ජීවිතය අරඹලා තමයි ක්‍රම ක්‍රමයෙන් ඉන්දීය සිනමාවේ හොඳම නළුවෙක් හැටියට අද මේ ගමන ඔහු ඇවිත් තියෙන්නෙ.

 

ඉන්දීය සිනමාවේ ජීවමා​න දැවැන්ත පෞර්ෂ්‍ය​ය වන අමිතාබ් බච්චන් සිනමා රංගනයට පිවිසෙන්න කලින් ‘ෂෝ වොලස්’ නම් සමාගමේ විධායක නිලධාරියෙක් හැටියට තමයි සේවය කරල තියෙන්නෙ. ඔහුගේ මුල්ම පඩිය වෙලා තියෙන්නෙ ඉන්දීය රුපියල් 500ක්. පස්සෙ කාලෙකදි ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්නටත් අමිතාබ් උත්සාහ කරල තියනවා. ඒත් ඔහුව ඒකෙන් ප්‍රතික්ෂේප වෙනව. ඉන් පස්සේ තමයි මුම්බායට ඇවිත් රංගන ශිල්පියෙක් හැටියට ඔහු තමන්ගෙ ගමන අරඹලා තියෙන්නෙ.

 

රජීව් හරි ඕම් භාතියා, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ආක්ෂේ කුමාර් තමන්ගෙ පළමු රැකියාව හැටියට කරල තියෙන්නේ කෝකියෙක් සහ වේටර්වරයෙක් හැටියට සේව​ය කිරීමයි. සටන් ශිල්ප​ය ඉගෙන ගන්න බැංකොක් නුවර ඉඳිද්දී තමයි ආක්ෂේ ඒ රස්සාව කරල තියෙන්නෙ. සටන් ප්‍රගුණ කිරීමෙන් පස්සේ නැවත ඉන්දියාවට එන ආක්ෂේ සටන් ගුරුවරයෙක් හැටියට රැකියාව අරඹනව. ඉන් පස්සේ තමයි ඔහුට මෝස්තර නිරූපණ ශිල්පියෙක් හැටියට කටයුතු කරන්නත්, බොලිවුඩයට එකතු වන්නටත් මග පෑදෙන්නෙ.

 

හාස්‍යජනක චරිත රංගනයට වැඩි තැනක් දීල තියන බෝමන් ඉරානි කියන්නේ සීරියස් චරිතයක් වුණත් එකෙන්ම ගොඩ දාන්න පුළුවන් නළුවෙක්. බෝමන් ඉරානිගෙ මුල්ම රැකියාව වෙන්නෙ මුම්බායේ ‘ටාජ් මහල් පැලස්’ හෝටලයේ වේටර්වරයෙක් සහ හෝටල් සේවකයෙක් හැටියට වැඩ කිරීමයි. ඉන් පස්සේ ඔහු ඡායාරූප ශිල්පියෙක් හැටියටත් කටයුතු කරනවා. රඟපෑ​ම කෙරෙහිත් පැසැල් කාලේ ඉඳන්ම ඇල්මක් තියන බෝමන්, රංගන ශිල්පයත් හදාරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ රාම් ගෝපාල් වර්මාගේ ‘ඩර්නා මනා හේ’ චිත්‍රපටයටත්, රාජ්කුමාර් හිරානි ගේ ‘මුන්නාභායී එම්බිබිඑස්’ චිත්‍රපටයටත් රංගනයෙන් එකතු වෙලා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන්න බෝමන් ඉරානි සමත් වෙනව.

 


Saru Fm Media