2022 වර්ෂයට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඇස්තමේන්තුගත සියයට 17ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවය දිගින් දිගට ම අත්විඳින අතර, මෙය විශේෂයෙන් ම පැවතෙන්නේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ය.
කොළඹ: එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) ඒකාබද්ධව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සියළු ම පළාත් තුල ආහාර අනාරක්ෂිතතාව අඩු වෙමින් පවතී. එම වාර්තාව තක්සේරු කරන ආකාරයට, ජනගහණයෙන් සියයට 17ක් නොඑසේනම්, පුරවැසියන් මිලියන 3.9ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට මුහුණ පාන අතර එය පසුගිය වර්ෂයේ ජූනි/ජූලි සමඟ සැසඳීමේදී ආසන්න වශයෙන් සියයට 40ක අඩු වීමකි. පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු 66,000ක පුද්ගල සංඛ්‍යාව මේ වසර වන විට, ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩු වී ඇත.
මෙම ආහාර සුරක්ෂිතතා මට්ටම් වල වර්ධනයක් සටහන් වීමට මුලික පදනම් වී ඇත්තේ යහපත් ආහාර පරිභෝජනයයි. ආහාර මිල යම් තාක් අඩු වීම සහ මෙම වාර්තාවට කරුණු අධ්‍යනය කරන කාලය තුලදී අස්වනු නෙලීම හේතුවෙන් අදායම් මට්ටම් වර්ධනය වීම තුලින් ආහාර පරිභෝජන රටාවල වෙනසක් සිදුවීම වැනි කරනු ඊට බලපා ඇත.
මෙකී සාධනීය ප්‍රවණතාව දක්නට හැකි වුව ද, කිලිනොච්චිය, නුවර එළිය, මන්නාරම, මඩකලපුව, වවුනියාව සහ යාපනය වැනි ඇතැම් දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතී. උග්‍ර ආහාර අනාරක්ෂිතතාව වාර්තා වන්නේ, වතුකරයේ තේ වගාකරුවන්ගේ ප්‍රජාවන් අතරින්, සහ සිය ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් සමෘද්ධි වැනි සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන දෛනික වැටුප් ලබාගන්නා කම්කරුවන් සහ කුටුම්භ අතරින් ය.
(2022)/23) වර්ෂවල ප්‍රධාන කන්න දෙක පුරාවට සහල් සහ බඩ ඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග නිෂ්පාදනය ටොන් මිලියන 4.1ක් වශයෙන් පුරෝකථනය කර ඇත. මෙය පසුගිය වර්ෂ 5 සාමාන්‍යයට වඩා සියයට 14ක් අඩු ය. මීට ප්‍රධාන හේතුව වශයෙන් පොහොර සැපයුම ප්‍රමාණවත් නොවීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යමය යෙදවුම් දැරිය නොහැකි වීම හේතුවෙන් ඇති වූ දුර්වල ශාක පෝෂණය දැක්විය හැකි ය. කෙසේ වුව ද, බහුපාර්ශ්වීය සහ ද්වීපාර්ශ්වීය ආධාර ලෙස විවිධ රටවල් සහ නියෝජිතායතන මඟින් ලැබෙන අරමුදල් හරහා කුඩා පරිමාණ ගොවීන් සඳහා ලබාදුන් අත්‍යාවශ්‍ය පොහොර මඟින් නිෂ්පාදනයේ සැලකිය යුතු සාධනීය බලපෑමක් සිදු කර ඇත. මෑතක දී අස්වනු නෙළන ලද 2022/23 “මහ“ කන්නයේ අස්වනු 2022 “යල“ කන්නයට වඩා 12%ක වර්ධනයක් ද සනිටුහන් කර ඇත.
ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ FAO හි නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා CFSAM වාර්තාවේ සොයාගැනීම් පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි: “ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව යනු, ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තුළ දිගින් දිගට ම පවතින දුර්වලතා සහ අභියෝග පිළිබඳ දෑස් විවර කරවන වාර්තාවකි. මේ වාර්තාව සහ එහි සොයාගැනීම්, ප්‍රතිපත්ති සම්පාදකවරුන්ට සහ පාර්ශ්වකරුවන්ට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට, ශ්‍රී ලංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට සහ ආර්ථික අර්බුධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ගොවීන් මෙන්ම ග්‍රාමීය ප්‍රජාව විසින් මුහුණ පාන අවදානම් අවම කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට මඟ පෙන්වනු ඇති බවට සැකයක් නොමැත. තිරසාර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ කුසගින්න නැති කිරීම යන අරමුණුවලට ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් වෙනුවෙන් සහාය දැක්වීමට ත්‍්ධ සංවිධානය නිරන්තරයෙන් කැප වේ.”
Saru Fm Media