ආදම්ගේ පාලම, රාම සේතු, මුහුදේ ඇති පාලම, රාමාගේ පාලම යන නම් වලින් හඳුන්වන, මේ වන විටත් මෙය රාමා විසින් රාවණාට පහර දීමට ලංකාවට එන්න තම වානර හමුදාව ලවා හදපු පාලම විදිහට ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරනවා. ඒත් ඒක එහෙම නෙමෙයි ස්වභාවිකව හැදුණු වැලි පරයක් කියල සමහර අය කියනවා. ඒ වගේම මෙය මිනිසා විසින් ගල් අතුරා නිර්මාණය කල ඉදි කිරීමක් බව විද්‍යාඥයෝ හෙළි කරලා තියෙනවා. ඉතින් ආදම්ගේ පාලම සත්‍යයක්ද? අසත්‍යයක්ද? එන්න ආදම්ගේ පාලම මතින් ඇවිද යමු.
ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි මන්නාරම දූපත සහ ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් පිහිටි රාමේෂ්වරම් දූපත අතර තමයි ආදම්ගේ පාලම, රාමගේ පාලම නැතිනම් රාම සේතු පාලම පිහිටලා තියෙන්නේ. “පාලම” කිලෝ මීටර් 48 (30 සැතපුම්) දිග වන අතර මන්නාරම් බොක්ක (නිරිතදිග) පෝක් සන්ධියෙන් (ඊසානදිග) වෙන් කරනවා. මෙහි සමහර ස්ථාන වල වියළි වැලි ඉවුරු දකින්න ලැබෙනවා. සමහර තැන් අඩි 3ක් වගේ අඩු ගැඹුරක් ඇති බවත් සඳහන් වෙනවා.
රාමායණය කියන්නේ හින්දු පුරාණ කතාවක්. රාමායණයට අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට අරගෙන එනවා. සීතාව රාවණාගෙන් බේරාගන්න රාම කුමරයා ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න පාලමක් ඉදි කරනවා. ඒ පාලම තමයි ආදම්ගේ පාලම.
මේ ගැන රාමායනයේ සඳහන් වනවා. ඊට අමතරව ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි මෙය ‘මුහුදේ ඇති පාලම’ විදිහට සඳහන් කර තිබෙනවා.
පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ යන නමින්. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන නිසා මෙය රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳුන්වනවා.
1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම කියලයි. ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි.ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. වෙනත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේස්වරම්හිය.
මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යන නම් වලින්.
අපි හැමෝම දන්න තවත් කාරණයක් තියෙනව මේ සම්බන්ධයෙන්. ඒ තමයි ලංකාව, ඉන්දියාවේම කොටසක් ලෙස පිහිටලා තිබුන බවත් අවුරුදු 125,000කට පමණ පෙර දෙකට කැඩී වෙන් වූ බවත්. ඒ විදිහට වෙන්වෙලා ඉතිරි වුන කොටස් මේ විදිහට පාලමක් විදිහට පේන බවත්.
නාසා ආයතනයට තමන්ට අයිති චන්ද්‍රිකා මගින් ඉන්දියාව හා ලංකාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් තිබෙන බව හෙලිකලා.
මේ ඡායාරූප නිසා ආදම්ගේ පාලම ගැන ඇමෙරිකානු භූවිද්‍යාඥයන් පර්යේෂණයක් කලා. ඔවුන් සඳහන් කලේ මේ පාලම ස්වභාවික පිහිටීමක් නොවන බවත් එය මිනිස්සු විසින් ඉදිකරන ලද්දක් බවත්.
Saru Fm Media