ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – Saru FM Media

0
109


ජනාධිපතිවරණ උණුසුම ළංවෙද්දී රටපුරාම දේශපාලනඥයින්ගේ නම් සම්බන්ධ කරමින් විවිධ කතාබහ ඇති වෙලා තියෙනවා. ප්‍රතිපත්ති ගැන වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැනත් විශාල වශයෙන් කතාබහට ලක් වෙනවා. සමහර කතා මඩ වුණාට සමහරක් කතා ඇත්ත. මේ වගේ පසුබිමක් තියෙන වෙලාවක අපි හිතුවා පරණ දේශපාලනඥයෝ කීපදෙනෙක් ගැ​න රස කථා කීපයක් ඔබට ගේන්න.

 

සී. ඒ. එස් මරික්කාර් කියන්නේ 1956 එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහත්මයා පිහිටවපු රජයේ තැපැල් අමාත්‍යවරයා. ඔහුට දැඩි ලෙස සිංහල ජනතාව ආදරය කළා. ඒ නිසා ඔහුව සිංහල මරික්කාර් විදිහට බොහෝ දෙනෙක් හැඳින්වුවා. ඒ වගේම ඔහු ඉතාමත් විනෝදකාමී පුද්ගලයෙක්. වතාවක් ආධාර වැඩසටහනකට සම්බන්ධව විදේශීය කාන්තාවක් රටපුරා සංචාරයක යෙදුණා.මේ සංචාරයට මරික්කාර් මහත්මයත් සහභාගි වෙලා, ඇය සමග රටපුරා යනවා කියලා බණ්ඩාරනායක මහත්මයාටත් ආරංචි වුණා. දවසක් බණ්ඩාරනායක මහත්මයා මරික්කාර්ව හම්බ වුණ වෙලාවක මෙහෙම ​ඇහුවා. “ඇත්තද මරික්ස් ෆොරින් ලේඩි කෙනෙක් එක්ක රට වටේ යනවා කියන්නේ?” මරික්කාර්  මහත්තයා මෙහෙම උත්තර දුන්නා “ඔව් සර් අපිට ගොඩක් දේවල් එයාගෙන් ගන්න පුළුවන්.” ඒ උත්තරයට දෙපිට කැපෙන කතා කියන්න ශූරයකු වුණු බණ්ඩාරනායක මහත්තයා මෙන්න මෙහෙම කියලා තියනවා.

“මට නං ආරංචි මරික්ස් සමහර දේවල් එයාට දෙන්න යනවා කියල”

 

විජයානන්ද දහනායක කියන්නේ ලංකා දේශපාලනය තුළ සිටි විචිත්‍රවත් චරිතයක්. කෙටි කාලයකට පමණක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණු එතුමා දේශපාලන පිල් මාරු කිරීමටත් ප්‍රසිද්ධව හිටියා. එතුමා පළමුව රාජ්‍ය මන්ත්‍රණ සභාවට යන්නේ බිබිල ආසනයෙන්. පසුව ගාල්ල ආසනය නියෝජනය කරනවා. මේ කාලෙදි එතුමා සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ බිබිල ආසනය සඳහා ඉදිරිපත් වුණේ බිබිලෙම කෙනෙක් වුණු ධර්මදාස බණ්ඩා මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ රොනී ද මැල් මහත්තයා. ධර්මදාස බණ්ඩාගේ මැතිවරණ වේදිකා වලදී දහනායක මහත්තයා මිනිස්සුන්ගෙන් මෙහෙම ඇහුවා .

ඔබතුමාලා එක වතාවක් බිබිලට මාව තෝර ගත්තා. කවුන්සිල් එකට ගියාට පස්සේ බිබිලෙදි මාව ඔබතුමාල දැක්කද?

ජනතාව ‘නැහැ’ කියලා උත්තර දුන්නා.

ඒ ගමන් දහනායක මහත්තයා මෙහෙම කිව්වා…

“අන්න ඒ වගේ මෝඩ වැඩ දැන් කරන්න එපා. කවදාවත් පිටගම්කාරයෙක්ට ඡන්දෙ දෙන්න එපා. තමුන් දන්න කියන බිබිලෙම ජීවත් වෙලා ඉන්න ධර්මදාසටම ඡන්දය දෙන්න.”

 

ඩඩ්ලි සේනානායක කියන්නේ ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණු අහිංසකම පුද්ගලයා කිව්වොත් වැරැද්දක් නැහැ. එතුමා ගේ සුප්‍රසිද්ධ බඩේ අමාරුව ඒ දවස්වල දේශපාලන වේදිකාවලත් කතාබහට ලක් වුණා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට එතුමා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි වශයෙන් ආහාර ගත් කෙනෙක්. නමුත් ඩඩ්ලි සේනානායක මහතා හැම තිස්සෙම අනිත් අය ගැන හොයලා බලපු කෙනෙක්. වතාවක් එක්තරා තානායමකදී ඩඩ්ලිට දැනිලා තියෙනවා ආපු පිරිසට දෙන්න තරම් ආහාර තානාය​මේ නැහැයි කියලා. ඩඩ්ලි කෝකියාට එන්න කියලා තමන්ට ආහාර ගන්න තරම් ප්‍රියක් නෑ. ඒ නිසා පපඩම් කිහිපයක් පමණක් හදලා දෙන්න කියලා කියනව. අනිත් අය හොඳට සප්පායම් වෙද්දී ඩඩ්ලි පපඩම් වලින් විතරක් සැනසිලා තියෙනවා.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here