ලංකාවෙ රජ කාලේ, පැරණි යුගේ විවාහ ක්‍රම හොඳද නරකද? – Saru News Media

0
10

යටත් විජිතයක් වන්නට පෙර ලංකාවේ විවිධ විවාහ ක්‍රම ගණනාවක් තිබුණි. අද සිතන විට ඇතැම් ඒ විවාහ ක්‍රම නොගැලපෙන ඒවා යැයි සිතෙන මුත්, එදා ඔවුන් ගෙවූ සැහැල්ලු දිවි ගමනට ඒ දැඩි නීතිමය රෙගුලාසි නොමැති වූ සරණ බැඳීම් ආශිර්වාදයක් මෙන් විය.

 

යමක් ආරක්ෂා කරන්නට සිදු වන්නේ සොර සතුරන් සිටිනවා නම් පමණකි. සොරාගන්නට කිසිවෙකුත් නැතිනම් එතන මුරකාවල් තේරුමක් නැත. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගැනීමට මත්තෙන් ලාංකිකයා බොහෝ සෙයින් සරල දිවි පෙවතක් ගෙවීය. ගම් වැසියෝ සියල්ලෝම තමුන්ගේ දරුවන් මෙන් එකිනෙකාගේ දරුවන්ට සැලකූහ. කුලයක් තුළ සහ ගමක් තුළ ගත්කල එක් එක් පවුල අතර විශාල වෙනසක් නොවුන අතර, ඔවුහු හැකි පමණ වවාගෙන සපයාගෙන කා බී කුඩා නිවසක ජීවත් වූහ. ඒ වටපිටාව තුළ පැවති විවාහ නීතිය ඉතාම සැහැල්ලු එකකි. රොබට් නොක්ස් දක්වන ආකාරයට කන්ද උඩරට ස්ත්‍රී පුරුෂයින්ට කැමති ආකාරයකට එක ගේ, බින්න හෝ බහු විවාහ ක්‍රමයකට ජීවත් විය හැකි විය.

 

https://www.youtube.com/watch?v=UNS007dIgps

උඩරට පළාතේ තිබුණ කඳුකර වටපිටාව නිසා එහි ගොවිතැන් කලහැකි ඉඩම් සීමා සහිත විය. ඉඩම් කැබලි වී දේපළ බෙදී නොයනු පිණිස සහෝදරයින් දෙදෙනකු වෙනුවෙන් එක් බිරියක් සරණ පාවා ගැනීම එකගේ කෑම ලෙස හැඳින්වීය. එම සිදුවීම අළලා නිර්මාණය වුනු ‘බැද්දේගෙදර’ ටෙලිනාට්‍යය එක් සමයක ලංකාවේ ජනප්‍රියම නාටකයක් විය. එක ගේ කෑමේ දී දරුවන් සියල්ල එක් පවුලක දරුවන් විය. ඔවුන්ගේ පියා යනු ද්විත්ව චරිතයකි.

 

බින්න විවාහය නම් මනාලයා මනාලියගේ ගෙදර ගොස් පැලපදියම් වීමයි. එසේ මනාලියගේ නිවසේ පදිංචියට ගිය තැන මනාලියගේ අණසක යටතේ මනාලයාට සිය ජීවිත කාලයම දිවි ගෙවන්නට සිදු වේ. මනාලියගේ නිවසේ බින්න බසින්නට ගිය තැන පටන් හුලු අත්තක්, තල් අත්තක් සහ හැරමිටියක් සූදානමින් පවත්වාගත යුතුයැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. එනම් බිරිඳගේ නිවසින් යන්න කියන්නේ කවර මොහොතේද, ඒ මොහොතේම නිවස හැරදා යෑමට මනාලයා සූදානමින් සිටිය යුතුය. බින්න ක්‍රමයට විවාහ වූ විට දරුවන්ගේ අයිතියද පියාට අහිමිවන අතර දරුවන්ට පියාගේ දේපළ වලට අයිතිවාසිකම් කීමේ හැකියාවක් නොවේ යයි කියවේ.

 

යටත්විජිත සමයේ යුරෝපියයන් විසින් හඳුන්වා දුන් නූතන විවාහ ක්‍රමය දීග විවාහ ක්‍රමයට සමීප විය. එහිදී වර්තමානයේ කෙරෙන පරිද්දෙන්ම මනාලයාගේ නිවසට මනාලිය කැන්දාගෙන එනු ලැබේ. මෙය රොබට් නොක්ස් අවදියේ නම් බොහෝ සරලව තිබිණි. පසුව වික්ටෝරියා රැජිණ කල දවස අපට බෝ වුනු ඉංග්‍රීසි සිරිත් විරිත් නිසා, අද වනවිට දීග කෑමට පටන් ගැනීම බොහෝ සංකීර්ණ ක්‍රියාදාමයක් වී තිබේ. පෙරුම් පුරාගෙන මුදල් ඉතිරි කරගෙන, අවුරුදු ගණන් සැලසුම් කරගෙන කල යුතු වෙහෙසකර තත්ත්වයකට විවාහ උත්සව පැමිණ ඇත්තේ මේ සංස්කෘතීන් සහ හර පද්ධතීන් කිහිපයක එකතුවක් ලෙස නූතන විවාහය පැමිණීම නිසාවෙනි.

 

මුස්ලිම් විවාහ නීතිය මෑත කාලීනව ලංකාවේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් විවාහ නීතියකි. කුඩා දරුවන් කසාද බැඳීමට ලාංකික මුස්ලිම් නීතියෙන් ඉඩ ප්‍රස්ථාව වෙන්වී තිබීමේ ගැටළුව මුස්ලිම් වරුන්ගේ පිරිසක් විසින්ම හෙලා දකිනු ලැබ තිබේ. මුස්ලිම්වරු වර්තමාන ලාංකික විවාහ නීතීන්, නීති පොතට පැමිණෙන්නටත් පෙර පටන්ම විවාහ ගිවිස ගැනීම සිදු කලේ ඉස්ලාම් ආගමික මතිමතාන්තර අනුව වේ. ඒ අනුව එක් පුද්ගලයෙක්ට නඩත්තු කිරීමට වත්කම ඇත්නම් විවාහ 4ක් කරගැනීමේ හැකියාව තිබේ. බිරින්දෑවරු කිහිපයකගේ සුව පහස විඳගන්නට ලැබීම නිසා පුරුෂයන් මෙයට වඩාත් ආසා කලද, නිවැරදි විවාහ ක්‍රමවේද අනුව ඒ ආකාරයේ බිරින්දෑවරුන් කිහිප දෙනෙකු සරණ පාවාගෙන, ඒ සියල්ලම එකසේ සතුටු වන පරිදි නඩත්තු කිරීම කල යුතුය.

 

පුරාතනයේ විවාහ ගිවිස ගැනීමේදී කුලය ප්‍රධාන සාධකයක් විය. පෙර වෘත්තීය පසුබිම් අනුව සෑදුනු කුල ක්‍රමයක් ලංකාවේ විය. දැනුදු ඉරිදා පුවත්පතක මංගල දැන්වීම් බලන කල කුලය තවමත් විවාහ ගිවිස ගැනීම් වලදී වැදගත් සාධකයක් වන බව පෙනී යයි. ගොවිතැන් බත් වැඩකටයුතු කරන පවුලක දියණිය ගොවිතැන් කරන පුරුෂයෙකුට සරණ පාවා දීම දෙපාර්ශවයටම වාසි සහගත තත්ත්වයකි. එසේම මූදුකරයේ මාලු රස්සාව කරන අයවලුන්ට ඒ වර්ගයේම ගතිගුණ ඇති කුලයේ අයෙකු හා විවාහ වීම වාසියකි. රක්ෂාව පදනම් වූ කුලයෙන් පරිබාහිර විවාහ වූ පවුල් විසිවන සියවසේදීත් සමාජයේ අවමනට හා නෑයින්ගේ ගර්හාවට ලක්විය.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here