ලංකාවේ පැරණි අධ්‍යාපන පොතපත – Saru FM Media

0
209


ඉංග්‍රීසින්ට යටත් වීමෙන් පස්සේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ජනප්‍රිය වීම දක්වා අපේ රටේ අධ්‍යාපනයේ මූලස්ථානය  වුණේ පන්සල. පන්සලේදී ගිහියන්ට වගේම පැවිදි හිමිවරුන්ටත් එකසේ අධ්‍යාපනය ලබාදීම සිදු වුණා. අපි අද කතා කරන්න යන්නේ ඒ යුගයේදී භාවිතා කරපු පතපොත කීපයක් පිළිබඳව. අද දක්වාම ඇතැම් පන්සල්වල සහ පිරිවෙන්වල වෙනසක් නැතුව මේ පතපොත භාවිතා වෙනවා.

 

අද වගේ මුද්‍රණ ශිල්පය සුලභ නොවුණු යුගයක හෝඩි පොත නමින් හැඳින්වුණු පුස්කොළ පොතක් පන්සලේ තිබ්බා. මේ හෝඩිපොතට එදිනෙදා භාවිතා වන අක්ෂරමාලාව ඇතුළත් වෙලා තිබ්බා. හැබැයි මේ පිළිබඳව පර්යේෂණ කරපු විද්වතුන් කියන විදිහට මේ හෝඩි පොත සහ අද භාවිතා වන හෝඩි පොතේ ඇති අක්ෂර මාලාවේ යම් යම් වෙනස්කම් තිබිලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ මේ හෝඩි පොත ආශ්‍රයෙන් වැලිපිල්ලේ දරුවන්ට අකුරු ලියන්න, කියවන්න උගන්වලා තියෙනවා.

 

හෝඩි පොතෙන් අකුරු ඉගෙන ගත්ත දරුවන්ට ලිහිල් අක්ෂර යෙදුණු වචන උච්චාරණය කරන විදිය කියලා දෙන්න තමයි නම් පොත භාවිතා වුණේ. නම් පොතට ඇතුළත් වුණේ ලංකාව පුරා විහිදී ගිය බෞද්ධ සිද්ධස්ථානවල  නාමාවලියක්. මේ පොතේ අවසාන පාඨයෙන් කියවෙන විදිහට මෙම සිද්ධස්ථානවල අධිගෘහිත දෙවියන්ට යැවෙන සංදේශයක් විදිහට තමයි මේ පොත ලියවිලා තියෙන්නේ.

 

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටා තිබෙන මංගල ලක්ෂණ දෙසීය දහසය මේ මඟුල් ලකුණ කෘතියට ඇතුළත් වෙනවා. සංස්කෘතියට බර වුණු විලාශයකින් ලියවිලා තියෙන මේ කෘතිය ශබ්ද නගා උච්ඡාරණය කිරීම මගින් ශිෂ්‍යයන්ට අල්පප්‍රාණ සහ මහප්‍රාණ අකුරු උච්චාරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා 

 

 

සාමාන්‍යයෙන් මේ කෘතියට ගණ දෙවි හෑල්ල සහ ගණපති යාදින්න කියන කොටස් දෙකම ඇතුළත් වෙනවා. මුල් කවි තිස් අට ගණපති යාදින්න ලෙසත් අවසාන කවි එකොළහ ගණ දෙවි හෑල්ල ලෙසත් හඳුන්වා තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳව තවමත් අපේ රටේ සාහිත්‍යවේදීන් අතර එකඟතාවයක් නැහැ. ඇතැම් මුඛ පරම්පරාගත කතා වලට අනුව මේ කෘතිය රචනා කරල තියෙන්නෙ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා. හින්දු දේව සමයට අනුව නුවණට අධිපති ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම මේ කෘතියේ මුඛ්‍ය අරමුණ වෙනවා

 


Saru Fm Media