දික්කසාද වැඩි එක සමාජයේ පවුල් ප්‍රශ්නයක් වුවද එලොව දියුණුව ගැන දේශනා කරන ආගමික නායකයින්ද දික්කසාද වැඩිවීම් ගැන කතාකරන්නට බොහොම කැමතියි. ඉතින් ඇයි මේ දික්කසාද වැඩිවෙන්නේ කියන එකට හේතු ගොඩාක් තියෙනවා. දික්කසාද වීම හොඳයිද නරකයිද කියන එකත් ආන්දෝලනාත්මක දෙයක්. දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් මව්පියන් දික්කසාද වීම දරුවන්ට නම් පීඩනයක්. ඒත් නිතරම නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්නට සිදුවෙනවා නම් එතැනදී ඔවුන් දෙදෙනාටම ජීවිත කාලය පුරාම එය ගැටුමක් වෙනවා කියන එකත් අමතක කරන්න නරකයි.
මීට වසර තිහ හතලිහකට පෙර නිවසේ සැමියා හැන්දෑවේ බීගෙන ඇවිත් සිය බිරියට කෑ ගසා අඬදබර කරන විට ඇයට ඉවසා සිටින්නට සිදු වුනා. ඒත් දැන් කාන්තාව ශක්තිමත් වෙලා. පිරිමියාගේ සියලු නොපනත්කම් ඉවසනවා වෙනුවට ඊට එරෙහි වෙන්නට ඇයට ආර්ථික සහ සමාජමය බලයක් තියෙනවා. ගොඩක් කාන්තාවන් රැකියා කරන නිසා ඔවුන්ට කියලා ආදායම් මාර්ග තියෙනවා. ඒ වගේම සමාජ දේශපාලන ක්ෂේත්රවලදීත් කාන්තාවන් පෙරට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක සියලු දුක්ඛ දෝමනස්සයන් දරාගෙන, ගැහැණු අපට උරුම දේවල් යැයි කියමින් ගෙදරට වෙලා නාහෙන් අඬ අඬ ඉන්න කාන්තාවකට වඩා කසාද ජීවිතය තෘප්තිමත් නැතිනම් එය කෙළවර කර දමන්නට පසුබට නොවන කාන්තාවන් වැඩිපුර බිහිවෙලා තියෙනවා.
මීට කාලෙකට ඉස්සර දික්කසාදයක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒත් අද බැලුවොත් ජනප්‍රිය චරිත පවා මාස කිහිපයක් ඇතුලත දික්කසාද වෙලා තියෙනවා කියලා පේනවා. දික්කසාද නඩු වැඩිවුනත් දික්කසාද ඉස්සර තරම්ම දිගට දිගට ඇදි ඇදී යන බවක් මේ කාලේ පේන්නට නැහැ. ඒ වගේම දික්කසාද වීමත් නූතන නාගරික මධ්‍යම පාන්තිකයින්ට ලොකු මැජික්ස් එක්ක නෙමෙයි. තවමත් ගම්බදව නම් පරම්පරාවේ මූණේ දැලි ගෑවා ආදි ලෙස දික්කසාද වීම් දක්වනවා වුනත් කෙමෙන් කෙමෙන් දික්කසාදය තවත් එක සිදුවීමක් තරමටම අවට සමාජයට සාමන්‍ය සිදුවීමක් බවට පත් වෙමින් තියෙනවා.
ඒකාකාරී ජීවන රටාව තුල විවාහ ජීවිතය තවත් බෝරින් දෙයක් බවට පත් කරලා තියෙනවා. හැමදාම උදේ නැගිටිනවා, දරුවෝ ස්කෝලේ යන්න සූදානම් කරවනවා, වැඩට යන්න පාරටම පැය දෙක තුනක් වැය වෙනවා. මේ වාගේ ජීවිතය ඒකාකාරී වීම ලාංකික අඹු සැමියන්ට විතරක්ම නෙමෙයි, ලෝකය පුරා පවුල් ජීවිත මුහුණ දෙන ප්‍රශ්නයක් වෙලා. පෙර කාලයේ වගේ වසරකට විවිධ ආකාරයේ එකතුවීම්, උත්සව, රැස්වීම් ආදිය තිබුන ජීවන රටාව වෙනස් වෙලා. ඒකත් එක්ක ජීවන රටාවන් එක්ක පෙර තිබූ විවාහ බැඳීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න බාධාවන් එල්ල වෙලා තියෙනවා.
බොහෝවිට පෙම් කරන කාලේ එකට එකතැනක වෙලිලා කල් ගතකරන්න පෙම්වතුන් කැමතියි. ගතින් එකතැන හිටියාට දෙදෙනාගේ ජීවන ඉලක්ක එකිනෙකාට වෙනස් නම් එතැනදී කොහොමත් ගැටුම් ඇතිවෙනවා. කේන්දර බලලා අසුවල් යෝනියට අසුවල් ලිංගය ගලපලා, සමාජ තත්ත්වයන් කිරලා මැනලා විවාහ සිදුකළත් දෙදෙනාගේ ජීවිතයේ ඉලක්කයන් එකිනෙකට හාත්පසින් වෙනස් නම් ඒ වගේ ජෝඩු ඉක්මනින්ම දික්කසාද වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
Saru Fm Media