මීට වසර දහදාහකට පෙර කාලයේ මිනිසාට තිබුනේ සරල ප්‍රශ්න කීපයකි. ආහාර නවාතැන් සහ ලෙඩදුක් වැනි අනෙක් සතුන්ට තිබෙන ගැටලු ආදිය ඒ කාලේ මිනිසාට තිබුනි. කාලය සමග මිනිස් සමාජය දියුණු විය. මිනිසාගේ මොළයේ ධාරිතාවය වැඩි විය. ඒ සමගම මිනිසුන්ට එදිනෙදා සරල ජීවන ගැටලු වලට අමතරව තවත් බොහෝ දේ ගැන අදහස් පහල වන්නට විය. මනුෂ්‍යයින් වශයෙන් විවිධ මට්ටමේ අදහස් අපි හැමෝටම තිබේ. ඒ අතර වඩාත් පොදු, සාධාරණ, විධිමත් සහ කාලයට සාපේක්ෂව ඉදිරිගාමී අදහස් දැක්වූ අයගේ අදහස් ලොව පතල විය.
ජීවය, දේශපාලනය, භෞතික පරිසරය, ඉතිහාසය, විද්‍යාව, ගණිතය, නීතිය ආදි දේ ගැන විවිධ දාර්ශනික අදහස් ප්‍රකාශ කළ අය සිටියහ. ඔවුහු මුලු මහත් ලෝකයේම මනුෂ්‍ය සමාජයට බලපෑම් කළෝය. එවැනි මහා දාර්ශනිකයෝ රැසක් සිටින අතර එයින් කිහිප දෙනෙක් ගැන කරුණු ස්වල්පයක් අපි දැන ගනිමු.
ඇතැමුන් ආගමක් ලෙසද විශ්වාස කරන මුත් කොන්ෆියුසියස් විශාල පරාසයක වූ දැනුමක් ලෝකයට ලබාදුන් දාර්ශනිකයෙකි. ඇරිස්ටෝටල් බටහිර දර්ශනයට වැදගත් වන්නේ යම්සේද චීනය ප්‍රමුඛ ආසියානු සමාජයට කොන්ෆියුසියස් තුමාගේ දර්ශනය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. කොන්ෆියුසියස් තුමා වෘත්තියෙන් චීන අධිරාජයාට ද උපදෙස් දිය හැකි මට්ටමේ ප්‍රාන්ත මහ ඇමතිවරයෙක් විය. සදාචාරාත්මක ප්‍රවේශයක් තුලින් සමාජය සවිබල ගැන්වීම කොන්ෆියුසියස් තුමාගේ අදහස විය. ක්‍රි. පූ 551 දී උපත ලද කොන්ෆියුසියස් තුමා ක්‍රි.පූ 479 දී මිය පරලොව ගියේය. දැනට වර්ෂ 2500කටත් වඩා වැඩි වුවත් අදද කොන්ෆියුසියස් තුමාගේ වචන විශ්වාස කොට ජීවිතයට එයින් ආලෝකය ලබාගන්නා පිරිස චීනය මෙන්ම අවට රටවල් වලද විසිරී පැතිරී සිටිති.
අතීතයේ පහල වූ බටහිර දාර්ශනිකයන් අතරින් වඩාත් සාර්ථකම දාර්ශනිකයා ඇරිස්ටෝටල් යැයි කියවේ. ඇරිස්ටෝටල් තමුන්ගේ අදහස් විධිමත්ව කුඩා තිසීස ලෙස රචනා කර ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමාට ගුරුවරයෙකු වූ ඇරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව 384-322 කාලයේ වාසය කළා යැයි සැලකේ. ප්ලේටෝ සොක්‍රටීස් ආදීන් මෙන්ම සමකාලීන ග්‍රීසියේ දාර්ශනිකයෝ රැසක් වූහ. ඒ අතරින් විශාල විෂයය සංඛ්‍යාවක් අරබයා වඩාත් විධිමත් ආකාරයෙන් දාර්ශනික මත ප්‍රකාශ කිරීමට ඇරිස්ටෝටල් සමත් වී තිබේ. ඔහුගේ විෂයයන් දේශපාලනය, ආණ්ඩුව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව, නාට්‍ය, භාෂාවන් නීතිය ආදී විශාල පරාසයක පැතිර පවතී. කාලයට සාපේක්ෂව දාර්ශනික හරය අතින් ඇරිස්ටෝටල් වර්ෂ දහසක් පමණ ඉදිරියෙන් සිටිය පුද්ගලයෙකු යැයි සැලකේ. ඇරිස්ටෝටල් ට පසුව ඔහු හා සම මහා දාර්ශනිකයින් බිහිවන්නට ඉන් පසු වසර එක්දාස් පන්සියයකට වඩා කාලයක් ගත විය.
ළමුන් සියලුම දෙනා එක සම වූ ඉලක්ක වලට දක්කන නූතන බටහිර අධ්‍යාපන ක්‍රමය 20 වන සියවස මුලදීම අසාර්ථක අධ්‍යාපන ක්‍රමයකැයි තාගෝර් දැක්කේය. එසේම ආසියානු පසුබිමේ ඉන්දියානු ගම ගෝලීයකරණය තුලින් තවත් උපනගරයක් වෙන ආකාරය මීට වසර සියයකට පෙර තාගෝර් විසින් දැක්කේය. ඉන්දියානු නිදහස් සටන හුදෙක් සුද්දන් වෙනුවට ස්වදේශිකයින් රට පාලනය කරන තත්ත්වයකට ගෙන ඒමෙන් වැඩක් නැතැයි තාගෝර් කීවේය. ඔහු ඉන්දියානුවන්ට ශතවර්ෂ ගණනාවක් තිස්සේ හිමි වූ වටිනාකම් සහිත ජීවන රටාව දියුණු කරගැනීමට දැනුමෙන් උදව් කළ යුතුයැයි විශ්වාස කළේය. සංගීතය කලාව සහ භාෂාව ඉගැන්වීමට තාගෝර් විශ්ව භාරතී විශ්ව විද්‍යාලය පිහිටෙවුවේය. ගමේ සිටින මිනිස්සුන්ට දැනුම ලබාදීමටද තාගෝර් අලුතින් වැඩපිලිවෙල ආරම්භ කළේය. නිදහස ලබාගැනීම තුල දේශපාලනික බලපොරයට එහා ගිය අර්ථවත් නිදහසක් ඇතිකරලීමට තාගෝර් ගේ මතවාද ඉන්දියාවට වැදගත් විය. 1913 දී සාහිත්‍ය නොබෙල් තෑග්ග දිනූ තාගෝර් 1941 දී මෙලොවින් සමුගත්තේය.
සොක්‍රටීස්ගේ ගෝලයාද ඇරිස්ටෝටල් ගේ ගුරුවරයාද වන ප්ලේටෝ සිය දේශන ලේඛන ගත කිරීමට උනන්දුවක් දැක්වීය. සොක්‍රටීස්ගේ ඇතැම් අදහස් ලෙස දැක්වෙන බොහෝ අදහස්ද ප්ලේටෝගේ කාලයේදී ලේඛන බවට පත් වී අද දක්වා පැමිණ තිබේ. විධිමත් උසස් අධ්‍යාපන ආයතන ඇතිකිරීමේ මූලිකයා ලෙසද ප්ලේටෝ දැක්වේ. ගණිතය, දේශපාලනය දර්ශනය වැනි විෂයයන් අරබයා ප්ලේටෝගේ අදහස් පැතිරී පවතී. ප්ලේටෝ පවතින යතාර්ථ ලෝකයට වඩා සංකල්පීය ලෝකයක් ගැන විශ්වාස කළේය.
Saru Fm Media