වගකීම් සහහතව ගොසිප් (ඕපදූප) කතා කරන්නේ මෙහෙමයි! – Saru News Media

0
16

ඔය ඕපාදූප නැතිනම් ගොසිප් ගැන සාමාන්‍යයෙන් සමාජයේ තියෙන්නේ ඒ තරම් හොඳ මතයක් නෙවෙයිනේ. හැබැයි ඕපාදූප නොකියන, අඩු තරමින් ඕපාදූපයක් කියන්න පොඩි හරි සම්බන්ධයක් නොදක්වන කෙනෙක් හොයන එකත් සෑහෙන්න අමාරු වැඩක්. සමහරු ඉන්නවා ජීවිතේම ඕප තමයි. ආයෙ ජීවත් වෙන්නෙම ඕපාදූපයක් කතා කරගෙන ඉන්න. තවත් සමහරු ඉන්නවා ඕපාදූපයක් වුණත් කතා කරන්නේ ඒකේ ඇත්තක් නැත්තක් තියෙනවද කියලා හොයල බලලා. තවත් සමහරු ඉන්නවා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ හැමෝම එක්ක ඕපාදූප කතා කරන්නෙ නෑ. හැබැයි විශ්වාසවන්ත එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරක් ඕප කතා කරනවා. ඒ අය ගැන තමයි ඔය ඉන්ස්ටග්‍රෑම් ෆොටෝස් එහෙම දාන්නේ “මයි ගොසිප් බඩී” කියලා!

 

ඉතින් ඇත්තටම ඕපදූප කතා කරන එක නරකද? ඒක එහෙම ඔව් හෝ නෑ කියලා උත්තර දෙන්න අමාරු තරම් සංකීර්ණ කාරණයක්. අපි මේ ගැන කලිනුත් කතා කරලා තියෙනවා. සමහර අය කියනවා ඔය ගොසිප් නැතිනම් ඕපාදූප කතා කරනවා කියන එකම එක්තරා විදියක සෝෂල් ස්කිල් එකක් කියලා. තවත් අය කියනවා, ගොසිප් කියන්නේ මිනිස්සු සමාජයීයව සම්බන්ධ වෙන්න භාවිතා කරන මෙවලමක් කියලා. ඒ කියන්නේ ඔය ටීම් එකක තියෙන කණ්ඩායම් හැඟීම එහෙම ඉහළ නංවන්න පුලුවන්ලු ඕපදූප කතා කරන එකෙන්. දැන් ඔය කෝක වෙතත්, සමහර විටකදී ඕපාදූප වලින් අනික් අයට හානියක් වෙන්න, වැරදි තොරතුරු පැතිරෙන්න අතිශයින්ම ඉහළ ඉඩක් තියෙනවනේ. ආන්න ඒ නිසා තමයි ඕපාදූප කතා කළත් වගකීමකින් යුතුව කතා කරන්න ඕන, අහන්න ඕන කියලා අපි කියන්නේ. ඒකට උපදෙස් කීපයක් මෙන්න.

 

Talk gossip responsibly

මේ කාරණාව ඇත්තටම අදාළ වෙන්නේ ඕපදූප ඇහීමට. දැන් ඕපදූප නොකිව්වත්, සමහරු ඉන්නවා ඕපයක් තව කෙනෙක් රස කරලා කියනවා අහන්න හරි ආසයි. ඒකට කමක් නෑ. හැබැයි අපිට ස්වයං විනයක් තියෙන්න ඕන, ඒ අහපු ඕපදූපය ජොලි කතාවක් විතරයි කියන තැනින් නවත්තන්න. උදාහරණයක් විදියට, “අහවලා රිසිප්ෂනිස්ට් එක්ක සීන් එකක් තියෙනවා” කියලා ඕපදූපේ අහලා, ඊට පස්සේ ඒ කෙනා ඔෆිස් එකේදී හම්බුවෙනකොට “ඊයා වනචරයා” ලුක් එකක් දීලා යන්න අපි පෙළඹෙනවා නම් ඒක ප්‍රශ්නයක්. “අම්මෝ මේ යකා මගේ ඇඟටත් එයිද දන්නෙ නෑ” කියලා ඒ කෙනත් එක්ක වැඩ කරන්න තියෙන ඔෆිස් ප්‍රොජෙක්ට් එකේ අදාළ දේකට වුණත් ඒ කෙනාගෙන් එන කෝල් එකකට හරි ආන්සර් නොකර ඉන්න හිතනවා නම්, ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඕපදූපයක් සීරියස් අරගෙන කියන එක තමයි. ඒක වැරදියි. ඕපයක් ඇහුවනං, ඒක එතනින් ඉවර කරලා, ඒකෙන් ආතල් එකක් අරගෙන, හැබැයි ඕපේ එතනම තියලා එන්න.

 

Talk gossip responsibly

අපි කිසිම කෙනෙක් කැමති නැහැනේ කොන් වෙන්න. එහෙම නැතිනම් අපහාස විඳින්න. ආන්න ඒ නිසා, අපි ඕපදූපයක් කියලා තවත් කෙනෙක් සමාජය ඇතුළේ හෝ තමන් ඉන්න ඔෆිස් සෙට් එක ඇතුළේ හෝ, මිතුරු හවුල ඇතුළේ කොන් වෙනවා නම්, අපහාස විඳිනවා නම් ඒක ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි කියමු යම් කිසි කෙනෙක් ඇත්තටම ගැටළුකාරී හැසිරීමක් දක්වනවා කියලා. එහෙම නැතිනම් කෙනෙක් ඇත්තටම අනික් අයට වරදක් කරනවා කියලා. ඒක අපි සහසුද්දෙන් දන්නවා නම්, අපිට ඒ ගැන සාක්ෂිත් තියෙනවා නම්, ඒක ඕපයක් විදියට නැතුව කරුණක් විදියට කියන්න පුලුවන්. එතනදී හැබැයි එහෙම දෙයක් කියන එකේ වගකීමත් අපිට ගන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි එහෙම නැතුව අපිටත් සියේට සීයක් ෂුවර් නැති දෙයක් අපි ඕපයක් විදියට කියලා, ඒකෙන් අදාළ කෙනා කොන් වෙනවා නම්, අදාළ කෙනාට අපහාසයක් වෙනවා නම්, එතනදී අපි වැරදියි.

 

Talk gossip responsibly

මේක අදාළ වෙන්නේ තමන්ට පුද්ගලිකව කෝන්තර තියෙන, තමන් පුද්ගලිකව ඒ තරම් කැමති නැති අය ගැන ඕපදූප කතා කරනකොට. එහෙම කෙනෙක් ගැන අපි ගොඩක් වෙලාවට ඕපදූපයක් කියලා හරි ඒ කෙනාට ඇටෑක් කරන්න හිතනවා නම්, අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඕපදූපේ නිසා ඒ කෙනාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් වගේම, එහෙම ඕපදූපයක් කීමෙන් තමන්ටත් ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, හොඳම ප්‍රතිපත්තියක් තමයි, තමන්ට ඇත්තටම ගැටළුවක් තියෙන කෙනෙක් ගැන ඕපදූප කීමෙන් වළකින එක. එහෙම කෙනෙක් ගැන මොකුත්ම නොකියා ඉන්න එක වඩාත් හොඳයි. කෝන්තරේ විසඳගන්න වෙන ක්‍රමයක් හොයාගන්න පුලුවන්නේ.

 

Talk gossip responsibly

මේක ඕපදූප කිවීමේදී අති වැදගත්. ඒ තමයි, ඕපාදූපෙට සෑහෙන්න දුරට සත්‍යයක් තියෙනවා කියන එක සනාථ කරගන්න එක. ඒ කියන්නේ මේකයි. අර කපුටෝ හත් දෙනෙක් වමනෙ කරපු කතාව මතකයිනේ. ඇත්තටම වෙලා තියෙන්නේ ගමරාළ කපුටු පිහාට්ටක් උඩට වමනේ කරපු එක. ඒක හැබැයි ගම පුරා කතාව ගිහින් අන්තිමට නැවතිලා තියෙන්නේ ගමරාළ කපුටු හත් දෙනෙක් වමනේ කළා කියලා. අන්න ඒ නිසා, ඕනම ඕපදූපයක් කියන්න කලින් පොඩ්ඩක් සත්‍යාසත්‍ය භාවය සනාථ කරගන්න එක වටිනවා. ඒක තමන් දන්න අය ගැන ඕපදූප කියනකොට විතරක් නෙවෙයි. පොදුවේ ඕනම ඕපෙකට ප්‍රතිපත්තියක් විදියට පවත්වා ගන්න එක හොඳයි. උදාහරණයක් විදියට, අහවල් ඇමතිට රත්තරන් ගාපු කාර් එකක් තියෙනවා කියලා කියන එක ඕපයක් විදියට ආතල් වුණාට, ඇත්ත වෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට වෙන්නේ මොකක්ද? ඒක රට පුරා පැතිරීමත් එක්ක, ඒ අහවල් ඇමති ඇත්තටම මොනවාහරි විෂමාචාර වලට සම්බන්ධ වුණත්, ඒවත් ඕපදූප ගාණට අරගෙන මිනිස්සු ගණන් නොගෙන ඉන්න ඉඩ වැඩියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here