වැඩිපුර අවධානය යොමු නොවුන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන – Saru News Media

0
11

පුරාවිද්‍යාව කියන්නේ අපිට පාසලේදී සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ලැබෙන විෂයක්නම් නෙමෙයි. හැබැයි විෂයක් හැටියට ඉගෙන නොගත්තත් පුරාවිද්‍යාව කියන්නේ බොහෝ දෙනෙක් උනන්දු වෙන මාතෘකාවක්. කවුරුත් ආසයිනෙ අපේ රටේ පරණ දේවල් බලලා, තොරතුරු අහලා දැනගන්න. විශේෂයෙන්ම ලංකාව වගේ දිගු, ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක ජීවත් වෙනකොට බලන්න පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන බොහොමයි. අපිට වගේම අනාගත පරපුරටත් දකින්න මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම විශාල සේවයක්. ඒ පුරාවිද්‍යාත්මක උරුමය මනාලෙස කළමනාකරණය කරලා මතු පරපුරට දායක කිරීමේ දැක්මෙන්ම කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නම් කෙරුණු, ඒත් අපේ අවධානය වැඩිපුර යොමු නොවුන, ඒ කිව්වෙ වැඩිය අහල හුරු පුරුදු නැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ලංකාවේ ස්ථාන කීපයක් ගැනයි මේ කතා කරන්න යන්නෙ.  

 

 

ඇම්බැක්කේ දේවාලය කිව්වමනම් අහල නැති කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම ප්‍රසිද්ධයි. හැබැයි මේ කියන්න යන්නෙ ඒ ප්‍රසිද්ධ දේවාලය ගැනනම් නෙමෙයි. මේ ඇම්බැක්ක අම්බලම තියෙන්නෙත් මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඒ ප්‍රසිද්ධ ඇම්බැක්ක දේවාලය අසලම තියෙන වෙල්යාය ළඟ. මේක ඇම්බැක්ක දේවාලය තරම්ම පරණයි කියල තමයි පොත පතේ සඳහන් වෙන්නේ. දැනටනම් අබලන් වෙලා ගල් කණුයි පාදමයි විතරයි ඉතුරු. ඒත් ඒ කාලෙ නම් අම්බලම ඉදිකරවපු සිව්වන බුවනෙකබාහු රජතුම පෙරහැර බැලුවෙත් “සිංහාසන මණ්ඩපය” කියල ප්‍රසිද්ධ වෙලා තිබුන මේ අම්බලමේ ඉඳල කියල තමයි කියන්නෙ.

 

 

ගලබැද්ද කියන්නෙ නටබුන් වෙච්ච මාළිගා ගොඩනැගිල්ලක්. මොණරාගල ගලබැද්ද ග්‍රාමයේ තමයි පිහිටලා තියෙන්නෙ. හරියටම කිව්වොත් මොණරාගල පොතුවිල් මාර්ගයේ දෙවෙනි සැතපුම් කණුව අසල. පොලොන්නරුවේ මාළිගය, පඬුවස්නුවර මාළිගය කියන මාළිගා වල සැලසුම් වලට සමානකම් දක්වන ලක්ෂණ තිබුනත් ප්‍රමාණයෙන් කුඩා නිසාම මේ මාළිගය අම්පාර රජගල ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය පාලකයෙකුට අයිති වෙලා තිබුන මාළිගාවක් කියල තමයි සැක කරන්නෙ. පරණ දිය අගලකිනුයි ප්‍රාකාරයකිනුයි වටවුන මේ මාලිගාවේ දාගැබක සහ පිළිම ගෙයක අවශේෂ දකින්න පුළුවන්. ඒ වගේම ඒ මාළිගා ගොඩනැගිල්ලට ආසන්න ප්‍රදේශයේම ප්‍රකාරයකින් වටවුන ශිලාමය පොකුණකුත් දැකගන්න පුළුවන්.

 

 

මල්විල කියන්නෙත් වැඩිය අහන්න නොලැබෙන පුරාවිද්‍යා රක්ෂිත භූමියක්. ජනප්‍රවාද වල සඳහන් වෙන්නෙ සාලිය කුමරු විසින් කරවපු විහාරයක් කියලයි. මේ භුමිය ඇතුලේ නටබුන් වුණු දාගැබක්, ගල් කුළුණු, සහන ගොඩනැගිලි තුනක්, බෝධිඝරයක්, ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්, සඳකඩපහන්, කොරවක්ගල් සහිත පියගැට පෙළක් කියන දේවල් දකින්න පුළුවන්. පිහිටලා තියෙන්නෙ වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඩිපුව කියන ග්‍රාම නිලධාරී වසමේ සාලියපුර ගම්මානයේ. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here