විවෘත මනසකින් යුතුව ජීවත් වෙන්න කැමතිද? මෙන්න ඒකට උපදෙස් කීපයක්! – Saru Media

0
13


ඇත්තටම අපෙන් කීයෙන් කී දෙනෙක්ට විවෘත මනසක් තියෙනවද? ඒ කියන්නේ, අපි කීයෙන් කී දෙනෙක්ට ලෝකේ තියෙන දේවල් දිහා, ලෝකේ ඉන්න අනික් මිනිස්සු දිහා, ලෝකේ ඉන්න අනික් මිනිස්සු කරන කියන දේවල් දිහා විවෘතව බලන්න හැකියාවක් තියෙනවද? ඒකට කලින් ඉතින් විවෘතව බලනවා, විවෘත මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් බේරුම් කරගෙන ඉන්න එපැයි. සරලවම කියනවා නම් අපි මේ කියන්නේ, ලෝකේ අනික් මිනිස්සු ඉන්න විදිය, අනික් මිනිස්සුන්ගේ ආකල්ප, අනික් මිනිස්සු කරන දේවල් ගැන විනිශ්චයකින් යුතුව නොබලා, ඒ කියන්නේ ජජ්මෙන්ටල් නොවී අපිට කැමති වෙන්න බැරි අය වුණත්, ඒ ආකාරයෙන් පිළිගන්න හැකියාවක් තිබීම කියන එක. ඇත්තටම එහෙම විවෘත මනසක් තියෙන මිනිස්සුන්ට හිතේ ප්‍රශ්න අඩුයි.

 

ඉතින් කොහොමද හැබෑට එහෙම ඉන්නේ? ආන්න ඒක ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. විශ්වාසයන් වෙන් කරලා තියාගන්න

අපිට කොයි තරම් නං විශ්වාසයන් තියෙනවද? එක්කෝ අපිට ආගමික විශ්වාසයන් තියෙනවා. එක්කෝ වෙන වෙන විදි වල විශ්වාසයන් තියෙනවා. හැබැයි මේ විශ්වාසයන් එක්ක අපිට කිසිම මොහොතක විවෘත මනසකින් යුක්ත වෙන්න බැරි වෙනවා. එතකොට අපි කරන්න ඕන විශ්වාසයන්ගෙන් බැහැර වෙන එකද? නෑ. අපි කරන්න ඕන විශ්වාසයන් අපේ පෞරුෂත්වයට බැඳුණු කොටසක් විදියට ගන්න එකෙන් බැහැර වෙන එක. උදාහරණ ගමු. අපි බෞද්ධයෝ නම්, අපි විශ්වාස කරනවා සංසාරය ගැන. එතකොට ඒ විශ්වාසය අපේ පෞරුෂත්වයේ කොටසක් නම්, සංසාරයක් ගැන විශ්වාස නොකරන හාදයෙක් මුණගැහුනම අපි පරල වෙනවා. එතකොට අපි දේවභක්තිකයෝ නම්, දේවභක්තිය අපේ ජීවිතේ කොටසක් නම්, දෙවියන් විශ්වාස නොකරන මනුස්සයෙක් මුණගැහුනම අපිට අපහසුවක් දැනෙනවා. අඩු ගාණේ ඒ මනුස්සයා ඇයි දෙවියන් කියලා කෙනෙක් නැහැ කියලා හිතන්නේ කියන එක දැනගන්න, ඒ මනුස්සයාට සවන් දෙන්නවත් අපි සූදානම් වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා විශ්වාසයන් තියාගන්න. හැබැයි ඒ විශ්වාසයන් වැරදි වෙන්නත් පුළුවන් කියන අදහස තියාගන්න. ඒවල තදින් එල්බ ගන්න එපා. 

 

2. ස්ටීරියෝටයිප් වලින් ඉවත් වෙන්න

මොනවද මේ ස්ටීරියෝටයිප්ස් කියන්නේ? ඒකාකෘතික කිරීම් කියලා අපිට ඕන නම් හඳුන්වන්න පුළුවන්. “මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදයට නැඹුරුයි”, “සිංහල මිනිස්සු තමයි ආගන්තුක සත්කාරයට ලැදි”, “දෙමළ මිනිස්සු භක්තිවන්තයි”, “චීන ජාතිකයෝ අවස්ථාවාදීයි”, “ජපන් ජාතිකයෝ සුහද ආචාරශීලීයි’, “ත්‍රීවිල් රියැදුරෝ කපටියි”, “දොස්තරලා උද්දච්චයි” වගේ එක් එක් මිනිස්සු, එක් එක් ජාතීන්, එක් එක් කණ්ඩායම් ගැන අපේ හිත් වල මොන තරම් පූර්ව නිගමන තියෙනවද? මේ ඔක්කොම ස්ටීරියෝටයිප්ස්. මේ හැම එකකින්ම සිදුවෙන්නේ අපි මිනිස්සු ගැන, මිනිස් කණ්ඩායම් ගැන නරකට නැතිනම් වැරදියට හිතන එක. එතකොට අපි මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්නේම ඔය ස්ටීරියෝටයිප් එක ඔළුවේ තියාගෙන. අන්න එතකොට අපිට කිසිසේත්ම විවෘත මනසකින් යුක්ත වෙන්න බැහැ. උදාහරණයක් විදියට කිවුවොත්, අපි ත්‍රීවිල් රියැදුරෝ කපටියි කියන ස්ටීරියෝටයිප් එක ඔළුවෙන් අයින් කරගත්තොත් අපිට තේරෙයි, ඇත්තටම හොඳ ත්‍රීවිල් රියැදුරෝ වැඩියි කියන එක. ඇත්ත කතාව ගොඩක් මිනිස්සුන්ට හොඳ ගතිගුණ තියෙන අතරේ, කපටි මිනිස්සුත් ඉන්න පුළුවන් කියන එක. ඒක මනුස්ස සොබාව. එතකොට ඇයි අපි ත්‍රීවිල් රියදුරන් හැමෝම කපටියි කියලා ස්ටීරියෝටයිප් කරන්නේ?

 

3. කළු සුදු ලෝකයකින් පිටතට එන්න

අපි පුංචි කාලේ අහපු සුරංගනා කතා, ජනකතා එහෙම ගත්තහම අපිට හිතෙන්නේ එව්වා කළු චරිත සහ සුදු චරිත විතරක් තියෙන ඒවා කියලනේ. හැබැයි ඇත්තටම හිතලා බැලුවොත්, සුරංගනා කතා හෝ ජනකතා වලවත් කළු සුදු චරිත නෑ. ඒවලත් තියෙන්නේ අළු චරිත සමහර වෙලාවට. ඉතින් එහෙව් එකේ අපිට ජීවිතෙන් කළු සුදු චරිත බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ආන්න ඒ නිසා අපිට විවෘත මනසකට එන්න නම්, ජීවිතේ මුණගැහෙන මිනිස්සු අළු පාටයි කියන එක, ජීවිතේ එන ප්‍රශ්න අළුපාටයි කියන එක පිළිගන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට මුණගැහෙනවා කසාද බැඳලා ඒත් වෙන සම්බන්ධතාවයක් තියෙන කාන්තාවක්. දැන් අපි එක පාරටම එයා නරකයි කියලා තීරණයකට එනවා නම් අපිට විවෘත මනසක් නැහැ. අපි හිතන්න ඕන එයාගේ ගැටළුවේ තවත් පැති කොයි තරම් තිබුණා වෙන්න පුළුවන්ද කියන එක. 

 

4. පූර්ව නිගමන වලට එළඹීමෙන් වළකින්න

උඩ කියපු විදියට කළු සුදු ලෝකෙකින් පිටතට පැමිණෙන්න නම්, අපි පූර්ව නිගමන වලට එළඹීමෙන් වළකින්න ඕන. ඒ කියන්නේ, දෙයක් සම්බන්ධයෙන් හරියට දැනගන්න කලින්, හරියට කරුණු කාරණා කිරලා මැනලා දැනකියාගෙන තක්සේරුවකට එන්න කලින් තීන්දු තීරණ වලට එන එක වැරදියි. ඇත්තටම කණගාටුවට කාරණාව වෙන්නේ, ලෝකේ ගොඩක් මිනිස්සු පූර්ව නිගමන වලට එළඹෙන මිනිස්සු වෙන එක තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, මනුස්සයෙක් හොඳට ජැන්ඩියට ඇඳ පැළඳලා නැතිනම් අපි ඒ මනුස්සයාව දැකලා කලින්ම තීරණය කරනවා ඒ මනුස්සයා දුප්පත්, නුගත් පංතියක කෙනෙක් වෙන්න ඕන කියලා. හැබැයි ඒ ඉන්නේ අතිශයින්ම ධනවතෙක් හෝ ප්‍රාඥයෙක් වෙන්න පුළුවන්. අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණු ගමන්, ප්‍රශ්නේ තියෙන පැති මොනවද කියලා හොයාබලන්නත් කලින් වරදකරුවා කවුද කියලා තීරණයකට එනවා. ආන්න ඒ වගේ පූර්ව නිගමන වලට එළඹීම කියන එක අත්හරින්න ඕන දුර්ගුණයක්. 

 

5. හොඳ සවන් දෙන්නෙක් වෙන්න

දැන් අපි උඩින් කිව්වනේ ඕනම දේක, ඕනම ප්‍රශ්නයක, ඕනම සිදුවීමක, ඕනම මනුස්සයෙක්ට විවිධාකාර පැති තියෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට කොහොමද අපි ඒවා ගැන දැනගන්නේ? ආන්න ඒකට හොඳම ක්‍රමයක් තමයි කතා කරන්නට කලින් හොඳින් සවන් දීම. අපිට ඇහුම්කන් දීලා හිතනවට වඩා සෑහෙන්න දේවල් දැනගන්න, ඉගෙන ගන්න පුළුවන්. හැබැයි කණගාටුවට කාරණාව වෙන්නේ, අපි සාමාන්‍යයෙන් ඇහුම්කන් දෙනවට වඩා කතා කරන්න තමයි දඟලන්නේ. අහගෙන ඉන්නවට වඩා අපේ මතය ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ. හැබැයි හොඳින් සවන් දීලා අන්තිමට අදහස් දක්වන මනුස්සයාට තමයි හොඳම, සාරවත්ම සහ නිවැරදිම අදහස ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේත්. අන්න ඒ නිසා ඕනම කෙනෙක්ට හොඳින් සවන් දෙන්න.

 

6. දැනුම්වත් වෙන්න

අපිට විවෘත මනසක් සහිත කෙනෙක් වෙන්න ඕන නම්, අපි දැනුම්වත් පුද්ගලයෙක් වීමත් අත්‍යාවශ්‍ය කාරණාවක්. මොනවා ගැනද දැනුම්වත් වෙන්න ඕන? හැමදෙයක් ගැනම සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම ඕනෑම දෙයක් ගැන කරුණු කාරණා හොයලා බලන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න ඕන. විශ්ලේෂණාත්මක මනසක් ඇති කරගන්න ඕන. ආන්න එතකොට, කවුරුහරි මොකක් හරි කියපු පළියට විශ්වාස කරන්න යන්නෙ නැතුව, තමන්ට ඒ ගැන කරුණු හොයලා බලන්න හැකියාවක් ලැබෙනවා. ඒ ඔස්සේ වඩාත් තාර්කිකව හිතන්න මතන්න හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ ගුණය විවෘත මනසක් ඇති කරගන්න අත්‍යාවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔය ලෝකේ පැතිරෙන ව්‍යාජ තොරතුරු, දුස්තොරතුරු වලට එහෙම අහුවෙන්නෙත් නෑ, ඒ විදියට හොඳ දැනුම්වත් බවක් තියෙන පුද්ගලයෙක් නම්.

 

7. සැබෑ මානව දයාව වර්ධනය කරගන්න

අපි කෙනෙක්ට හොඳින් සවන් දෙනවා කියන්නේ අපිට ඒ කෙනා ගැන දේවල් ඉගෙන ගන්න පුළුවන් කියන එක. සමහර වෙලාවට අපි වරදක් කරපු කෙනෙක්ට වුණත් සවන් දෙනකොට, ඒ වරද සිදුවෙන්න පසුබිම හැදෙන්නේ කොහොමද, කොතනින්ද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ආන්න එතකොට අපිට කෙනෙක් දිහා හෝ සිදුවීමක් දිහා වඩාත් සානුකම්පිතව බලන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම, අපි සහකම්පනය කියන ගුණය වර්ධනය කරගන්න වුවමනායි. අන්න එතකොට අපිට ගොඩක් දුරට මානව දයාවෙන් පිරුණු මනුස්සයෙක් වෙන්න පුළුවන්. මේ කියන්නේ ෆේස්බුක් එකට පේන්න තියෙන මානව දයාව ගැන නෙවෙයි. සැබෑ මානව දයාව ගැන. ඒකත් විවෘත මනසක් තියෙන මනුස්සයෙක් වෙන්න පහසුවක්.

 

ඇත්තටම මේ විදියට කටයුතු කරලා වඩාත් විවෘත මනසක් තියෙන මනුස්සයෙක් වෙන්න පුළුවන් නම්, ඒක ලෝකෙටත් හොඳක්. ඒ වගේම තමන්ටත් හොඳක්. තමන්ගේ ජීවිතේ තියෙන සමහර ප්‍රශ්න පවා නැතිවෙලා යයි අපි ඒ දේවල් දිහා විවෘත මනසකින් බලන්න පටන් ගත්තට පස්සේ.

 





Saru News