වෙනස් විදිහකට රසම රස උප්පුමා හදමු – Saru FM Media

0
93


ගුණයෙන් මෙන්ම රසයෙන්ද උප්පුමා   දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ උදේ ආහාරයක් වන අතර ලංකාවේ ද ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත. එළවළු ආහාරයට ගැනීමට කැමැත්තක් නොදක්වන අය පවා එළවළු යොදා සෑදූ රසවත් උප්පුමා කන්නට අනිවාර්යයෙන්ම කැමතියි. ලේසියෙන්ම හදන්න පුළුවන් ස්ටීම්ඩ් උප්පුමා හදල බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කබලේ බැදගත් රුලං ( සමෝලිනා ) කෝප්ප 3
  • සිහින්ව කපාගත් කැරට් හා ගෝවා ස්වල්පයක්
  • සිහින්ව කපා ගත් ළූණු ස්වල්පයක්
  • කරපිංචා ස්වල්පයක්
  • වියළි මිරිස් කැබලි ස්වල්පයක්
  • අබ ඇට ස්වල්පයක්
  • මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • රෝස්ට් කරගත් කජු ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්
  • වතුර කෝප්ප 3 1/2 පමණ (රුලං ගත්ත කෝප්ප)

සාදන අයුරු :

භාජනයක් ලිප තබා එයට බටර් ස්වල්පයක් දමා රත් වු පසු එයට අබ ඇට ටිකක් දාන්න. එයටම වියළි මිරිස් කැබලි ටික හා කපා ගත් ළූණු හා කරපිංචා දමා තෙම්පරාදු කරන්න. එයටම එළවළු ටික ද එක්කර ගන්න. රස අනුව ලුණු හා මිරිස් කුඩු එක්කර හොඳින් මිශ්‍ර කර වතුර එක්කර රත් වන්න තබන්න. වතුර නටන විට රුලං ස්වල්පය බැගින් එක්කරමින් හොඳින් මිශ්‍ර කර ගන්න. ගින්දර අඩු කර පොඩි පිට්ටු කැට ලෙස හැදෙන අයුරින් හැන්දෙන් කඩා ගන්න. දැන් එයට පෙර සදා ගත් මිශ්‍රනය එක්කරගන්න. පිපෙන්න ඉඩ තබා මිශ්‍රනය පුරවාගෙන වන්ඩුවේ හෝ ස්ටීමර් එකට දමා තම්බාගන්න. කජු ටික එකතු කර කෙසෙල් කොළයක අතුරා උණුවෙන්ම පිළිගන්වන්න.

බෝංචි, ගෝවා, අල, ළූණු කොල, ලීක්ස්, දඹල, පොල් ස්වල්පයක්, රෝස්ට් කරගත් ආමන්ඩ් සහ කොත්තමල්ලි ද මෙයට එක් කර ගත හැක. කැමති නම් මස්, මාළු  සමඟින් ද පිළිගැන්විය හැක. රාත්‍රී ආහාර වේලකටත් ස්ටීම්ඩ් උප්පුමා කදිමට ගැලපේවී.

– කල්හාරී –


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here