දැන් අපි මෝටර් බයික් එකක් ගත්තට පස්සේ, ඒක පාරට දැම්මට පස්සේ හිතන්නේ මුළු ලෝකෙම, මුළු අහසම, මුළු පාරම අපේ කියලා. එහෙම නෙවෙයිද? ඒ හැඟීම මරු. ඒක මෝටර් බයික් එකක් පදින කෙනෙක් දන්නවා. හැබැයි ඒ එක්කම අපි ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඇත්තටම මුළු පාරම අපේ නෙවෙයි. තවත් අපි වගේම මිනිස්සු පාරේ වාහන වල යනවා, පයින් යනවා. එතකොට අපි දැනගන්න ඕන, පාරේ යන එක හෝ පාර අයිනේ ඉන්න හෝ වෙනත් කිසිම කෙනෙක්ට අපේ රයිඩ් එකෙන් කරදරයක් නොවෙන්න රයිඩ් කරන්න. ඒ විතරක් නෙවෙයි, අපි අපිටම හෝ කරදරයක් නොවෙන්න මෝටර් බයික් එකක් රයිඩ් කළ යුතුයි.
ඇත්තටම අපි ප්‍රායෝගිකව හිතලා බැලුවොත්, මෝටර් බයික් එකකින් පාරේ යන අපිට කොයි මොහොතක හෝ අතිශයින්ම සුළු හෝ හදිසි අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් අපිට වගේම තව කෙනෙක්ටත් හානියක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හදිසි අනතුරු පැත්තකින් තිබ්බොත්, අපි හරි විදියට, ආචාරශීලී බවක් එක්ක මෝටර් බයික් එක පාරේ අරගෙන යනවා නම්, වෙන්න පුළුවන් ගොඩක් අනතුරු වගේම, අපිට හෝ වෙනත් කෙනෙක්ට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම අවම වෙනවා. ආන්න ඒක තමයි රයිඩර් කෙනෙක් විදියට අපේ වගකීම. අපි මේ කියන්න යන්නේ ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන!
මේක ඇත්තටම මෝටර් බයික් එකේ යනකොට තියෙන්න ඕන යහපත් පුරුද්දක් වගේම, මාර්ග නීති කඩ නොකිරීමකුත් වෙනවා. ඒ තමයි, එහෙං මෙහෙං රිංගන්න නොයෑම. ඇත්තටම නියම බයික් රයිඩර් කෙනෙක්ගේ ඔය අනික් වාහන අස්සෙන් දාලා රිංගගෙන යැවිලි නෑ. හරි විදියට තමන්ට නියමිත මං තීරුවේ යන එක තමයි නියම බයික් රයිඩර් කෙනෙක් කරන්නේ. හැබැයි ඉතින් පාරට බැස්සහම අපිට ගොඩක් වෙලාවට නියම බයික් රයිඩර්ස්ලා දකින්න නෑ. ඉන්නේ බයික් එකක් තියෙන පළියට ඒක පදින මිනිස්සු. ආන්න එහෙම මිනිස්සුන්ට එහෙම විනයක් නෑ. ආයෙ වාහන දෙකක් අස්සෙන් අඩියක පරතරයක් තිබ්බත් එතනින් රිංගන්න හදනවා. කලර් ලයිට් එකක වාහන නතර වුණහම එහෙන් මෙහෙන්, පේමන්ට් එකෙන් විතරක් නෙවෙයි, පාර අයිනේ තියෙන ගෙවල් වල මිදුලෙනුත් දාලා ගිහින් කලර් ලයිට් ඉස්සරහටම වෙලා ඉන්නවා. ඒක කැතයි විතරක් නෙවෙයි, අනතුරුදායකයි.
මේකත් සමහර වෙලාවට අපිට පාරෙදී බයිකර්ස්ලා අතින් සිදුවෙනවා දකින්න ලැබෙන වැරැද්දක්. ඇත්තටම මේක බයිකර්ස්ලා විතරක් නෙවෙයි, වෙන ඕනෙම රියැදුරෙක් කරනවා දකින්න පුළුවන් වැරැද්දක්. හැබැයි අපි මෙතන කතා කරන්නේ බයිකර්ස්ලා ගැන විතරක් නිසා, අපි එතන ඉඳන් කතා කරමු. දැන් පාරට බැස්සහම විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. සමහරුන්ට පොඩ්ඩ ඇත්තං තද වෙනවා. තවත් සමහරුන්ට පුදුමාකාර ඊගෝ එකක් තියෙනවා. ඉතින් අපි හිතමු ඔන්න වාහනයක් ඉස්සර කරනවා අපිට. එතකොට ඉන්න බෑ. කොහොම හරි වේගෙන් ගිහිල්ලා අර මනුස්සයට වෙට්ටුවක් දාන්නමයි හිත. එහෙම නැතිනම් ගේම ඉල්ලන්නමයි වුවමනාව. ආන්න ඒක හරි දෙයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපි යන්නේ අපේ ගමන. එතනින් එහාට අපිට අනික් මිනිස්සු එක්ක පාරේ කෝන්තර පිරිමහන්න යන්න, අපේ ඊගෝ එක තෘප්තිමත් කරගන්න, ලොකු ලයින් දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට එහෙම ආකල්ප තියෙනවා නම්, ඇත්තටම අපිට බයික් රයිඩ් එකක් කවදාවත් රස විඳින්න ලැබෙන්නෙත් නෑ.
Saru Fm Media