වෙන රටකට පදිංචියට යන්න හිතන්න කලින් මේ කරුණු ගැන සැලකිලිමත් වෙමු! – Saru News Media

0
9

සාමාන්‍යයෙන් ඔය විදෙස් සංක්‍රමණය කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ වෙන රටකට ගිහින් කාලයක් ඉඳලා, ඊට පස්සේ ඒ රටේ පීආර් ඇප්ලයි කරලා හම්බුණොත් ඒ රටේම පදිංචි වෙන එක. ඕක අරුම පුදුම දෙයක් නෙවෙයි. හැබැයි දැන් මේ දවස් වල රටේ තියෙන තත්වයත් එක්ක සෑහෙන්න ප්‍රමාණයක් මිනිස්සු එහෙම වෙන රටක පදිංචියට යන එක ගැන හිතන්න පටන් අරගෙන තියෙනවා කියන එක අපිට පේනවා. හරි, එහෙම යන්න හිතන එක ගැටළුවක් නෙවෙයි. හැබැයි ඊට කලින් හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. කොහොමත් පිටින් ඉඳන් බැලුවහම පේන දේ තමයි, ඔය ඕන රටකට සචාරකයෙක් විදියට නැතුව ඉගෙන ගන්න හරි වැඩ කරන්න හරි වගේ වඩා ස්ථිර විදියකට යන්න තියෙන ප්‍රොසෙස් එක අඩු වැඩි වශයෙන් ටිකක් සංකීර්ණයි කියන එක. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි.

 

දැන් ලංකාවේ ඉඳන් හිතෙන රටකට හෙට උදේ පීආර් ඇප්ලයි කළා කියලා පීආර් හම්බුවෙන්නෙ නැහැනේ. ඊට වඩා ප්ලෑන් එකක් එක්ක වැඩ කරලා, වෙන රටකට ගිහින්, ඒ රටේ ඒ අදාළ කාලය සම්පූර්ණ කරලා, වෙනත් අවශ්‍ය දේවලුත් සම්පූර්ණ කරලා තමයි පීආර් ලැබෙන්නේ. හැබැයි ඔය වගේම සංක්‍රමණය වෙන්න කලින් හිතන්න ඕන තව කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒ ටික කලින් විසඳාගන්නවා කියන්නේ, ඇත්තටම වැඩේ තව සාපේක්ෂව පහසුයි. අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

පළවෙනිම ප්‍රශ්නේ මේක. අපි ඇත්තටම වෙන රටකට සංක්‍රමණය වෙන්නේ මොකක් නිසාද? ඇත්තටම ඔය ප්‍රශ්නේ අපි දැන් අහනවා වගේම ආටිකල් එක අන්තිමටත් අහනවා. දැනට අපි මේ ප්‍රශ්නේ දිහා ආර්ථික කෝණෙකින් බලමු. අපි වෙන රටකට සංක්‍රමණය වෙන්න හිතන්නේ සල්ලි හොයන්නද? එහෙමනම් අපිට වියදමට වඩා ආදායම් උපයන්න පුලුවන් රටක් ඒකට තෝරගන්න වෙනවා. එතනදී අපිට ජීවන වියදම ගැන හිතලා බලන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වෙන්න හිතනවා නම්, එහේ ජීවන වියදම සෑහෙන්න වැඩියි කියන එක තේරුම් ගන්න වෙනවා. ගිය අවුරුද්ද වෙනකොට ස්විට්සර්ලන්තේ ප්‍රධාන නගරෙකින් එක නිදන කාමරයක් තියෙන ෆ්ලැට් එකක් රෙන්ට් එකට ගත්තොත්, අඩුම අඩු තැනකත් මාසික කුලිය ස්විස් ෆ්‍රෑන්ක් 1500 කටත් වැඩියි. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් ලක්ෂ පහකට එහා. පිස්සු හැදෙනවා නෙහ්? හැබැයි තව දෙයක්, ස්විට්සර්ලන්තේ ඔය හැකියාවන් තියෙන විදේශිකයින්ට හොඳට ගෙවන රැකියා තියෙනවා. ආන්න ඒ නිසා, අපි තෝරගන්න රට තමන්ගේ හැකියාවන්ට තැනක් තියෙන රටක් වෙන්නත් ඕන. ඒ වගේම, ආර්ථිකේ ආදායම සහ වියදම අපිට බැලන්ස් කරගන්න පුලුවන් රටක් වෙන්නත් ඕන. එතකොට අපි යන්නේ සල්ලි හොයන්න නම්, රස්සාවලට වැඩියෙන් ගෙවන රටක් වෙන්නත් ඕන.

 

ඊළඟට එනවා භාෂා ප්‍රශ්නේ. දැන් අපිට වෙන රටකට ගිහින් ජීවත් වෙනකොටත් අපි දන්නේ සිංහල, ඒ නිසා අපි කතා කරන්නේ සිංහලෙන් කියලා ඉන්න බැහැනේ. අපිට ඒ රටේ භාෂාවට හැඩගැහෙන්න වෙනවා. එතකොට අපිට ඒ භාෂාව ගොඩදාගන්න පුලුවන් එකක්ද කියන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදියට සමහර රටවලට ඉගෙන ගන්න වුණත් යන්න නම්, ඔය IELTS වගේ භාෂා විභාග පාස් වෙලා තියෙන එක අනිවාර්යයිනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි. හැබැයි තවත් රටවල ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුලුවන් වුණාට, ඇත්තටම ප්‍රමුඛව පාවිච්චි වෙන්නේ වෙනත් භාෂාවල්. උදාහරණයක් විදියට ගත්තොත් ඔස්‍ට්‍රියාවට එහෙම සංක්‍රමණය වෙන්න හිතනවා නම්, ජර්මන් භාෂාව දැනගෙන ඉන්න එක තමයි හොඳ. එතකොට ඔය ලිතුවේනියා, එස්‍තෝනියා, ලැට්වියා වගේ බෝල්ටික් රටවල් ගත්තහම, ඒ අය වැඩියෙන්ම ප්‍රමුඛස්ථානය දෙන්නේ ඒ ඒ රටේ භාෂාවන්ට. එස්තෝනියා නම් එස්තෝනියන්. අන්න එතකොට, අපිට ඒ භාෂාව ප්‍රගුණ කරගන්න පුලුවන්ද කියන එකත් හිතලා බලන්න වෙනවා. 

 

මේක නම් ඇත්තටම දෙපැත්තකට තියෙන ගැටළුවක්. දැන් අපි වෙන රටකට ගියාට පස්සේ වුණත්, අපි ඉපදුණු රටේ සංස්කෘතිය අමතක නොකර පවත්වාගෙන යන්න පුලුවන් යම් සීමාවකට. හැබැයි ඊට වඩා, අපි යන රටේ සංස්කෘතියට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ආන්න ඒක අපිට පුලුවන්ද කියන එක තමයි මෙතනදී හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය බෝල්ටික් රටවල එහෙම මිනිස්සු තමන්ගෙ පාඩුවේ ඉන්න තමයි වැඩියෙන් කැමති. එහෙම නැතුව ලංකාවේ වගේ හම්බෙන හැමෝටම නැන්දේ කොහොමද, මාමා බෑරක්ද කියලා අහන ලෙවල් එකක නෑ. අන්න එතකොට අපිට එහෙම තමන්ගේ පාඩුවේ මිනිස්සු ජීවත් වෙන රටකට හුරුපුරුදු වෙන්න පුලුවන් නම් ගැටළුවක් නෑ. එතකොට අමතක කරන්න එපා, ඔය සංස්කෘතිය කියලා කියනකොට ආහාර සංස්කෘතිය එහෙමත් ඇතුළත් වෙනවා. අපිට ඕන දෙයක් අපිට උයාගෙන කන්න පුලුවන් වුණත්, ඒකට සීමාවක් තියෙනවනේ. උදාහරණයක් විදියට ගත්තොත්, පොල් නැති රටක අපිට ලංකාවේ වගේ බතුයි පොල්සම්බෝලයි හොයන්න පුලුවන්ද, බෑනේ.

 

මේ කියන්නේ රටක් විදියට රටේ ඉන්න විදේශිකයින්ට සහ පුරවැසියන්ට ලබාදෙන සේවාවන් ගැන. එතකොට අපිට මූලික වෙන්නේ අධ්‍යාපන සේවා සහ සෞඛ්‍ය සේවානේ. විශේෂයෙන්ම අපි දරුවොත් එක්ක විදේශගත වෙන්න හිතනවා නම් හරි, විදේශගත වෙලා දරුවෝ හදන්න හිතනවා නම් හරි අපිට මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඒ වගේම, සමහර රටවල් තියෙනවා සෑහෙන්න ලොකු ටැක්ස් එකක් මාසිකව ඉල්ලා හිටින. උදාහරණයක් විදියට ගත්තොත් කැනඩාව වගේ රටක ආදායමෙන් 40% ක් විතර ටැක්ස් විදියට ගෙවන්න වෙනවා. එතකොට අපිට ඒ ගෙවන ටැක්ස් එකට ලැබෙන සේවාවන් මොනවද කියන එක මෙතනදී වැදගත් වෙනවා. ඒ වගේම, අපිට ආදායම සහ වියදම බැලන්ස් කරනකොට, ඒ ටැක්ස් එක අවුලක් වෙනවද, එහෙම නැතිනම් ටැක්ස් එක නිසා ලැබෙන සේවාවන් එක්ක ගත්තහම ආර්ථික තත්වය බැලන්ස් වෙනවද කියන එකත් හිතලා බලන්න ඕන.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here