වෙල්ලවැහුම් ⋆ ධරණී

0
14

ඕන් එක ගමක ගමරාල කෙනෙක් හිටියලු. උන්දා දවසක් නෑ ගෙදරක ගියාම ඒ ගෙදර බවලතී ගමරාලට වෙල්ලවැහුම් හදලා දීලා. ගමරාල ජීවිතේට ඒ තරම් රසකෑමක් කාලා තිබුණේ නැතිලු. ගෙදර ගිහින් ගමහාමිනේට කියලා මේ කෑම හදාගන්නවය කියලා අර ගෙදර බවලතීගෙන් කැවිල්ලේ නම අහගත්තලු.

“වෙල්ලවැහුම්… වෙල්ලවැහුම්… වෙල්ලවැහුම්…” 

නම අමතක වෙයි කියලා කැවිල්ලේ නම කිය කියා ගමරාල ගෙදර යන්න පටන්ගත්තලු. ඔය යන අතරමග වෙච්ච සිද්ධියක් නිසා ගමරාල බිම ඇදගෙන වැටිලා. ඒත් එක්කම ගමරාලගේ එකපාරම “හුටපටස්” කියලා කියැවුණාලු. අන්තිමට වෙල්ලවැහුම් අමතක වෙලා ගමරාල ගෙදර ගිහින් තියෙන්නේ ‘හුටපටස්’ කියා කියා. ගිය සැනින් හාමිනේට කිව්වලු හාමිනේ මට හුටපටස් හදලා දෙන්න කියලා. ඒ කිව්වට මොකෝ හුටපටසක් ගැන ගමහාමිනේ ඇහුවෙත් එදාමයි. ගමරාල ඉල්ලන කැවිල්ල කල්පනා කර කර ඇවිදිද්දි ගමහාමිනේගේ කකුල පැටලිලා බිම ඇදවැටිලා. උන්දගේ තොල ඉදිමුණා. ගමහාමිනේගේ ඉදිමුණ තොල්පට දැකපු අල්ලපු ගෙදර බවලතී “ගමහාමිනේගේ තොල් වෙල්ලවැහුමක් වගේ ඉදිමිලානේ” කියලා කිව්වලු. ඔන්න ඒ පාර තමයි ගමරාලට හරිම කැවිල්ල මතක් වුණේ. වෙල්ලවැහුම් ගැන ඔය කතාව අපි ඉගෙනගත්තේ පුංචි කාලේ. වෙල්ලවැහුම් ගැන කතා ඇහුනට මොකද දැන් කාලේ ගොඩක් අය වෙල්ලවැහුම් හදනවා අඩුයි. ඉතින් වෙනසකටත් එක්ක මේ පාර අවුරුදු මේසෙට වෙල්ලවැහුම් හදාගන්න හැටි අපි කියලා දෙන්නම්.

මේකට කැකුළු හාල් සේරුවක පිටි, ඊස්ට් නැත්නම් ආප්ප සෝඩා, ලුණු, පොල් ගෙඩි දෙකක පොල්, පොල් පැණි, ගම්මිරිස් ඇට 4ක්, කුඩුකරගත්තු මාදුරු සපයාගන්න.

පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් බෑයක කිරි සහ ඊස්ට් දාලා හොඳට අනාගන්න. පස්සේ මේක වහලා පැය 8ක් විතර පිපෙන්න තියන්න. පිටි පිපුණට පස්සේ ආයේ පොල් බෑයක කිරියි, ලුණුයි දාලා දියකරන්න.

දෙවැනි පාර කිරි ටික දාන්න කලින් ඉතිරි පොල්වලින් පොල්පැණි හදාගන්න. ඒකට ගම්මිරිස්, මාදුරු එහෙම එක්කාසු කරන්න. දැන් තාච්චියක් නැත්නම් පෑන් එකක් ලිපේ තියලා මිශ්‍රණය දාගන්න. මැදට පොල් පැණි ටිකක් තියලා වෙල්ලවැහුම දෙකට නවලා ටික වෙලාවක් තියලා බාගන්න.

ආහාර වට්ටෝරු – ප්‍රවීණ සූපවේදී සරිත් කුමාරසිරි

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here