ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් ගැන මෝදිට ලිපියක්

0
4


ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීම සඳහා වහාම මැදිහත් ව එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ස්ටාලින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඔහු පවසා ඇත්තේ, සිය ධීවර ප්‍රජාවට මුහුණ දීමට සිදු වන අපහසුතා සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවය.

දෙමළ ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇති බවත් එය ඔවුන්ගේ ජීවනෝපායට දැඩි ලෙස බලපාන බවත් අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

“2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 243ක් සහ බෝට්ටු 37ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දින 28 තුළ ධීවරයින් 88 දෙනෙකු සහ බෝට්ටු 12ක් අවස්ථා 6ක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න…” යනුවෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් සිය ලිපියේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය‍ය පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, 2018 දී ශ්‍රී ලංකාව විසින් සංශෝධනය කළ ධීවර පනතට අනුව විදේශීය ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් මීට පෙර අගමැති මෝදි ව දැනුම්වත් කර තිබෙන බව ය.

“ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාපටිපාටිය හේතුවෙන් අත්අඩංගුවට ගත් අපේ ධීවරයන්ගේ හොඳ තත්ත්වයේ තිබෙන ධීවර යාත්‍රා  නැවත තමිල්නාඩුවට ගෙන ඒමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම ඉන්දීය ධීවරයින් සියලු ආයෝජනයක් සිදු කර ඇත්තේ, මෙම බොට්ටු නඩත්තු කිරීම සඳහායි”

“නිසි වන්දි හෝ විකල්ප වැඩපිළිවෙළක් නොමැතිව මෙම බෝට්ටු රාජසංතක කිරීම ධීවරයින් සහ ඔවුන්ගේ පවුල් මූල්‍ය අර්බුදයකට තල්ලු කරනවා” යනුවෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් සිය ලිපියෙන් දන්වා තිබේ.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කර ගැනීමට සහ රාජසන්තක කර තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලෙසට ද අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම ගැටලුව විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා ද සිය අවධානය යොමු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඔහු අගමැති මෝදිගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ධීවරයින්ගෙන් 77 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු 151ක් ශ්‍රී ලංකාවෙන් නිදහස් කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙසට ය.





Saru News