දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක් උත්තර තියෙනවා. සමහරු කියනවා විද්‍යාඥයෙක් වෙන්න කැමතියි කියලා. තව කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න ඕන. තව කෙනෙක්ට ගගනගාමියෙක් වෙන්න ඕන. හැබැයි තව අය ඉන්නවා, වඩු වැඩ කරන්න කැමතියි කියලා කියන අය. එතකොට, චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමැතියි කියන අය. මේ වගේ අපි පොඩි කාලේ, අපි ලොකු වෙලා කරනවා කියලා හිතන රස්සා දිහා බැලුවහම පේන එක දෙයක් තියනවා. මේ අපි කියන්නේ පුංචි ළමයි විදියට අපේ හිතේ තියෙන ෆැන්ටසි රස්සා ගැන. මේ වගේ උත්තර දෙන කාලෙදී, අපිට කිසිම අදහසක් නෑ මේ විදියේ රස්සාවක් කරන්න නම් ඕන කරන සුදුසුකම් මොනවාද කියන එක වත්. ඉතින් අර පුංචි කාලේ ගගනගාමියෙක් වෙන්න ඕන කියලා හිතපු පොඩි එකා, ලොකු වෙනකොට ජීවිතේ රියැලිටියට මුහුණ දෙන්න වෙලා, සමහර වෙලාවට බැංකු නිලධාරියෙක් විදිහට නතර වෙනවා.
හරි. අපි දැන් කතා කරන්න ඕන ඔය ෆැන්ටසි රස්සා හිතේ තියෙන පොඩි කාලේ ගැන නෙවෙයි. සාමාන්‍ය පෙල ඉවරවෙලා උසස් පෙළ කරන කාලය, සමහර වෙලාවට උසස් පෙළත් ඉවර වෙලා විශ්වවිද්‍යාලයට තේරෙන කාලය ගැන. අපි මේ කතා කරන කාලය වෙනකොටත් ඔබ ශිෂ්‍යයෙක්. හැබැයි හම්බෙන පළවෙනි රස්සාවට යන්නෙ නැතුව, තමන්ට ගැලපෙන වෘත්තීය ක්ෂේත්‍රයක් දැන්ම තියා ම තෝරා ගන්නට පුළුවන් නම්, අනාගතයේදී තමන්ට මුහුණ දෙන්නට වෙන ෆයිට් එකෙන් බාගයක් දිනලා ඉවරයි.
අන්න ඒ නිසා අපි හිතුවා, ශිෂ්‍යයෙක් විදියට තමන්ගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් කිහිපයක් ලබා දෙන්න.
අපි රස්සාවක් කරන්නේ වසර කිහිපයකට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත කාලයම එක රස්සාවක් ඉන්නවනම්, ඒ ඔය පොලිසියේ, හමුදාවේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ වගේ තැනක තමයි. හැබැයි මතක තියාගන්න, අපි මේ තෝරා ගන්නට යන්නේ රැකියාවක් නෙවෙයි, අපිට අනාගතයේ රැකියා කරන්න ගැලපෙන ක්ෂේත්‍රයක්. මේ අපි තෝරාගන්න ක්ෂේත්‍රය අවුරුදු තුනෙන් තුනට මාරු කරන්න බෑ. ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික කාරණයක් නෙවෙයි. අන්න ඒ නිසා, අපේ කෙටිකාලීන ආසාවන්, උනන්දු වීම්, පෙළඹවීම් වලට රැකියා ක්ෂේත්‍රයක් තෝරගෙන හරියන්නේ නෑ. අපි දීර්ඝ කාලයක් කරන්න කැමති දෙයක් තෝර ගන්න ඕන. අපි කියමු අපි තෝරගන්නේ බැංකු ක්ෂේත්‍රය කියලා. ඒකට ඇතුළාන්තයෙන්ම එන ආසාවක් තියෙන්න ඕනේ. අපි කියන්නේ පැෂන් එක කියලා. අන්න ඒක. කෙනෙක් ආස වෙන්නේ, මිනිස්සුත් එක්ක වැඩ කරන්න වෙන්න පුළුවන්. අන්න එතකොට එයාට මිනිස්සුන්ව හසුරවනවා, පරිපාලනය කරනවා වගේ රැකියාවක් ගැලපෙන්න පුළුවන්. තවත් කෙනෙක්, පුංචි කාලේ ඉඳන්ම සත්තු ගැන, ගස් කොළන් ගැන උනන්දු වෙන්න පුළුවන්. එතකොට එයාට, සත්ව විද්‍යාව නැතිනම්, කෘෂිකර්මය පැත්තෙන් ඉදිරියට යන්න ක්ෂේත්‍රයක් තෝරා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී තව දෙයක් තියෙනවා. අපි ආස කරන හැම දේකටම හැබෑ ලෝකේ පඩි ගෙවන්නේ නෑ. ඒ නිසා, අපි ආස දේවල්, අපේ හැකියාව, ඇත්ත ලෝකයේ තියෙන අවස්ථා වගේ දේවල් එක්ක බැලන්ස් කරන්නත් වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.
මෙන්න මේකත් වැදගත් කාරණයක්. අපි කියමු අපිට ආසාවක් තියෙනවා කියලා ගුවන් නියමුවෙක් වෙන්න. හැබැයි අපිට උසස් තැන් වලට යන්න බයක් එහෙම තියෙනවනම් ඒ වැඩේ හරියන්නෙ නෑ. අපි කියමු අපි ආසයි කියලා වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි අපි ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේ විෂයන් වලට සහජයෙන් ම දුර්වල නම්, අපි කොච්චර ආස වුනත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ නෑ.
මෙන්න මේ නිසා තමයි අපි මුලින්ම කිව්වෙ, ඔබේ තියෙන ෆැන්ටසි රැකියාව ගැන නෙවෙයි අපි කතා කරන්නේ කියලා. ඇත්තටම ඔබ දීර්ඝ කාලිනව කරන්න කැමති වෙන, ඔබට හැකියාවකුත් තියෙන ක්ෂේත්‍රය තමයි මෙතැනදී තෝරගන්න ඕන. මේ හැකියාව කියන දේ උපතින් එන්න ඕන නැහැ. අපි කියමු අපි තීරණය කරනවා අපි මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතියි කියලා. එතකොට ඔබට මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයන් වලට ලැදියාවක් තියෙනවා නම් ඒ ඇති. ඊට පස්සේ තියෙන්නෙ ඒ විෂයයන් තෝරගෙන ඉගෙන ගන්න.
ඕනම නම් මේ කරුණ අපිට ස්වොට් ඇනැලිසිස් එකක් (SWOT analysis) කරලත් ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ප්‍රබලතාවයන් (strengths), දුබලතාවයන් (weaknesses), ඔබට තියන අවස්ථාවන් (opportunities), සහ ඔබට තියෙන තර්ජනයන් (threats) වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා එක. අන්න එතකොට, අපිට තවත් සවිබල ගන්වා ගන්න ඕන අපේ ප්‍රබලතාවයන්, පිළිසකර කරගත යුතු අපේ දුබලතාවයන්, ග්‍රහණය කරගත යුතු අවස්ථාවන්, සහ ප්‍රවේශම් විය යුතු තර්ජනයන් හඳුනාගන්නට පුළුවන්. ඒ තොරතුරු ආශ්‍රයෙන් ඔබට ඔබගේ අනාගත රැකියා ක්ෂේත්‍රය නිර්ණය කර ගන්නට පුළුවන්.
උඩ කාරණා දෙකත් එක්ක සම්බන්ධයි මේ කාරණාවත්. ඒ වගේම පහල කියලා තියන 04 කාරණාවටත් මේක සම්බන්ධ වෙනවා. අපි අපෙන්ම ප්‍රශ්න කීපයක් අහලා බලමු.
ඔබේ ඉගෙන ගන්නට වැඩිපුරම ආශා කරන්නේ මොන දේවල් ද? ඔබ වැඩියෙන්ම කාලය ගත කරන්නට කැමති කුමක් කරමින් ද? ඔබ කැමති අතපය වෙහෙසා වැඩ කරන්නට ද, නැතිනම් මනස වෙහෙසා වැඩ කරන්නට ද?
ඊළඟට අහන ප්‍රශ්න ටික අදාල වෙන්නේ පහළ කතාකරන පොයින්ට් එකට. ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් මොනවාද? ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවයන් මොනවාද?
හරි මේ ප්‍රශ්න ටිකට පිළිතුරු හොයාගෙන ඊළඟ පොයින්ට් එකට යමු.
Saru Fm Media