ෂෝට් නෝට් (Short note) එකක් ගහද්දි මේ ටිප්ස් හත ගැනත් හිතන්න – Saru Media

0
21


සාමාන්‍යයෙන් පාඩම් කරද්දි ගොඩක් අය ෂෝට් නෝට් එකක් හදන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි අද හිතුවා කොහොමද හරියටම ෂෝට් නෝට් එකක් ගහන්නේ සහ හරියටම ෂෝට් නෝට් එකක් ගහන්න අපිට කරන්න පුළුවන් විශේෂ දේවල් මොනවද කියල කතාකරන්න.

 

 

1. නිල් පෑනම එපා! 

සාමාන්‍යයෙන් අපි ලියන හැමදේටම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් නම් නිල් පෑනනේ. මාතෘකාවට වුණත් නිල් පෑනෙන් ලියලා රතු පෑනෙන්ම ඉර ගහනවා. ඒ හින්දම නිල් පෑන අපිට ගොඩක් හුරුයි. ඒ හුරු බව හින්දම සමහර වෙලාවට මේ දේවල් අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්ද පුළුවන් තරම් දම්, කොළ, තැඹිලි වගේ පාට වලින් ෂෝට් නෝට් එක ගහන්න. ඒත් රතු, රෝස වගේ පාට භාවිතා කරන්න එපා. ඒ පාට තරමක් ඇහැට කරදර නිසා මේ දේවල් අමතක වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි.

 

 

2. හයිලයිට්ස් පාවිච්චි කරන්න

හයිලයිට් පාවිච්චි කරන්න කිව්වේ විශේෂයෙන්ම ඔයා පාඩම් කරන පොතට. දැන් සාමාන්‍යයෙන් අපි ෂෝට් නෝට් එකට ගන්නේ නෝට් එකේ වැදගත්ම පොයින්ට්ස් ටිකනේ. ඔයාට පුළුවන් එහෙනම් හයිලයිට් වලින් වැදගත්ම පොයින්ට්ස් ටික හයිලයිට් කරන්න. හැබැයි එහෙම කියලා පොතම හයිලයිට් කරන්න නම් එපා. පුළුවන් තරම් වැදගත් දේවල් ගන්න. ඊට පස්සේ ඒක ෂෝට් නෝට් එකට ගනිද්දී ඔයාට පුළුවන් ඒකේ මොකක් හරි කීවර්ඩ්, අවුරුද්දක් වගේ දෙයක් තියෙනවා නම් ඒක හයිලයිට් කරන්නත්…

 

 

3. මතකයෙන් ලියන්න බලන්න 

දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙනවා ෂෝට් නෝට් එකක් ගහද්දි පොත දිහාම බලාගෙන ඔහේ ලියන්න. ඉතින් මේකට වඩා ඔයාට පුළුවන් පොතේ තියෙන නෝට් එක කියවලා ඒකේ තියෙන කරුණු වලින් (ඔක්කොම නොවෙන්න පුළුවන්) මතක හිටිය ටික මතකයෙන්ම ලියන්න. ඒ වගේ මගහැරුණු ටිකත් ඔයාට පුළුවන් පස්සේ ආයේ පොත කියවල මතකයෙන් නෝට් එකට දාගන්න.

 

 

4. Past Papers වලට ආපුවා ගැන වැඩියෙන් හිතන්න

මේ ගැනත් ඔයා ගොඩක් හිතන්න ඕනේ. ගොඩක් වෙලාවට පසුගිය වසරවල පේපර්ස් වල තියෙන ප්‍රශ්න ආයේ එන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි ඔයාගේ පේපරේට. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම පුළුවන් තරමක් අද පාඩම් කරන දේ සම්බන්ධව මීට කලින් ආපු පාස්ට් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ගැන ගොඩාක් සැළකිලිමත් වෙන ගමන් ඒක නෝට් එකට එකතු කරගන්න. 

 

 

5. ලියන ගමන් අඳින්නත් බලන්න

සාමාන්‍යයෙන් එක දිගට නෝට් එක ලියාගෙන යද්දි ඔයාටත් කම්මැලිකමක් දැනෙයි. ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ෂෝට් නෝට් එකට පාඩමට අදාළ පොඩි චිත්‍රයකුත් එකතු කර ගන්න. ඔයා ලොකුවට චිත්‍ර අඳින්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒක ගැන පොඩ්ඩක්වත් නොහිතා ඔයාට පුළුවන් විදියට පොඩියට, තේරෙන විදියට චිත්‍රයකුත් නෝට් එකට අමතක නොකර එකතු කරගන්න. මොකද අකුරු වලට වඩා චිත්‍රයක් ඔළුවට යන්න තියෙන චාන්ස් එක ගොඩාක් වැඩි නිසා…

 

 

6. කතා කරන භාෂාවෙන් ලියන්න

ගොඩක් අය හිතන්නේ ෂෝට් නෝට් එකක් කිව්වම පොතේ තියෙන නෝට් එකම අකුරු පොඩි කරලා ලියන එක කියලායි. ඒත් ඒක එහෙම දෙයක් නෙමෙයි, පුළුවන් තරම් සරලව අත්‍යාවශ්‍ය දේවල් නෝට් එකකට ගැනීමයි මේකෙන් කරන්නෙ. ඉතින් ඔයාට පුළුවන් පොතේ තියෙන සංකීර්ණ භාෂා රටාවෙන් මිදිලා සරලව තමන්ට තේරෙන හැටියට, කලින් කිව්ව වගේ රූප අඳිමින් පැහැදිළිව මේ ෂෝට් නෝට් එක ගහන්න. එතකොට ඔයාට කියවද්දිත් ආසාවෙන් කම්මැලි නැතිව කියවන්න පුළුවන් වෙනවා…

 

 

7. කෙටි ක්‍රම පාවිච්චි කරන්න

මේක නම් අපි හැමදාම කියලා දෙන ටිප් එකක්. පුළුවන් තරම් කෙටි ක්‍රම වලින් මතක තියාගන්න බලන්න ඔයාගේ නෝට් එකේ තියෙන ඒවා. පුළුවන් නම් ඒවා ඔයාගේ ෂෝට් නෝට් එකටත් ඇඩ් කරගන්න. අපි දිශා අට මතක තියාගන්න හදපු කවිය වගේ ඔයාම මේ වගේ කවි, කතා නිර්මාණය කරන්න මේ දේවල් මතක තියාගන්න. එතකොටත් ගොඩාක් දේවල් ඔයාගේ මතකයේ රැඳේවි…

 

එහෙනම් මේ වගේ ටිප්ස් පාවිච්චි කරලා පුළුවන් තරම් ඔයාගේ ෂෝට් නෝට් එක කෙටි වගේම නිර්මාණශීලී කරගන්න උත්සාහ කරන්න. මේ දේවල් ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් ගොඩක් වැදගත් වේවි. ඒ හින්ද මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

 ශශින් ප්‍රබෝද්

 





Saru News