අපි දැන් කාලෙක ඉඳන් සතිපතා අතීතාවර්ජනයකට ඔබව කැඳවාගෙන යනවා. අද අපේ ලිපිය තුළින් අපි හිතුවා සිංහල සිනමාවේ ජනප්‍රිය වුණු පෙම්වතුන් කීපදෙනෙක් ගැන කතා කරන්න. හැබැයි මේ බොහෝ පෙම්වතුන් අපේ පරම්පරාවට නම් ආගන්තුකයෝ. හැබැයි අපේ තාත්තලාට සීයලාට නම් මේ අය වීරයෝ.
සෝමපාල නම් තරුණයෙක් දවසක් කාගිල්ස් සාප්පුවට යන්නේ කැළෑහඳ චිත්‍රපටියේ ග්‍රැමෆෝන් තැටියක් මිලදී ගන්න. ඒ වෙලාවේ කාගිල්ස් සාප්පුවට එඩී ජයමාන්න මහත්මයා එනවා. මේ තරුණයව දකින එඩී ජයමාන්න මහත්මයා පසුදිනක තමන්ව මුණගැහෙන්න කියල ඔහුට පවසනවා. ඊට පහුවෙනිදා එඩී ජයමාන්න මහත්මයා මේ තරුණයාව තමන්ගෙ අයියා වුණු බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මහත්මයාට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ වෙන්නේ මහ අරුම පුදුම දෙයක්, සෝමපාලට රුක්මණී දේවිය එක්ක ‘මතභේදය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔහු රඟපාන ‘දෛව විපාකය’ චිත්‍රපටියේ කිත්සිරිගේ චරිතය නිසා ඔහුගේ දෛවය නැවතත් උඩු යටිකුරු වෙනවා. මේ චිත්‍රපටිය හරහා මුළු ලංකාවෙම ජනප්‍රිය නළුවෙක් බවට එක රැයෙන් ඔහු පත් වෙනවා. දෛවයෝගය, දරුවා කාගේද,දෙයියන්ගේ රටේ වගේ චිත්‍රපට ගණනාවක ඔහු රඟපෑමට එක් වෙනවා. හැබැයි මේ සෝමපාල රසිකයන් අතර ජනප්‍රිය වෙන්නෙ සේනාධීර කුරුප්පු විදිහට. ඒ නම සිනමාවට පිවිසීමේදී ජයමාන්න මහත්මයා විසින් ලබාදෙන්නක්.
ඒ කාලයේ සිනමාවට පිස්සු වැටිච්ච තරුණයෝ සෑම දෙනෙක්ගෙම හිතේ හොරෙන් හැංගිලා තිබ්බ ආසාවක් තිබ්බා. ඒ තමයි රුක්මණී දේවිය එක්ක රඟපාන එක. හැබැයි එක තරුණයෙක්ට නම් තිබ්බෙ වෙනස් විදියේ ආසාවක්. ඒ තමයි රුක්මණී දේවියට ගීතයක් රචනා කරන එක. දවසක් රුක්මණී දේවියගෙන් ඒ සඳහා අවස්ථාවක් ඉල්ලගන්න ඇගේ නිවසට යන මේ තරුණයට බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මහත්මයා මුණ ගැසෙනවා. ජයමාන්න මහත්මයා තරුණයාගේ ආසාව ගැන අහල කියනවා “අපි සින්දු ලියලා රඟපාමු” කියලා. ඒ අනුව මේ තරුණයාට උමතු විශ්වාසය චිත්‍රපටය රුක්මණීගේ පෙම්වතා විදිහට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ දොස්තර සිරියලතා, දස්කොන්, කියන චිත්‍රපටිවලත් රුක්මණී දේවියගේ පෙම්වතා විදිහට රඟපාන්න ඔහුට හැකි වෙනවා. නමුත් ඒ සියලු චිත්‍රපටිවලින් ලැබුණු ජනප්‍රියත්වයට වඩා වැඩි ජනප්‍රියත්වයක් හඳපාන චිත්‍රපටයේ ද්විත්ව චරිත රඟපෑම නිසා ඔහුට ලැබෙනවා. මේ තරුණයාගේ නම හර්බට් එම්. සෙනෙවිරත්න. මේ තරුණයා අර කලින් කිව්වා වගේම ගීතත් රචනා කරලා තියෙනවා. ඒ ගීත ගැන අපි ඉදිරි ආටිකල් එකකින් ඔබට කියන්නම්.
සිංහල සිනමාවේ පළමු සුපිරි තරුව විදිහට ප්‍රේම්ජයන්ත් හඳුන්වන්න පුළුවන්. ඔහු තමන්ගේ රංගන ජීවිතය පටන් ගන්නේ උමතු විශ්වාසය චිත්‍රපටියෙන්. නමුත් ඔහුගේ රංගන ජීවිතයේ කඩඉම බවට පත්වෙන්නේ සුජාතා චිත්‍රපටිය. සුජාතා චිත්‍රපටයේ ෆ්ලොරීඩා ජයලත් සමග ඔහුගේ රඟපෑම නිසා සිනමාහල් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. මේ චිත්‍රපටයෙන් ඔවුන් දෙදෙනා ලද ජනප්‍රියත්වය නිසා සැඩ සුළං චිත්‍රපටයේ පෙම්වතුන් යුවළ බවටත් ඔවුන් දෙදෙනාව තෝරා ගත්තා. එම චිත්‍රපටියත් බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වුණු චිත්‍රපටයක් බවට පත්වුනා. ලංකාවේ පළමුවන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය ලෙස සැලකෙන “සුබ සරණ සැප සිතේ” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේත් ප්‍රේම් ජයන්ත විසින්. පුදුම ලේලි, වරද කාගේද, හෙට ප්‍රමාද වැඩියි වගේ චිත්‍රපටි ගණනාවක මතක හිටින රඟපෑම් ඉදිරිපත් කිරීමට ප්‍රේම්ජයන්ත් සමත් වුණා. අපි කලින් කියපු නලුවන් වගේම ප්‍රේම්ජයන්තුත් මේ නම යොදා ගෙන තියෙන්නේ චිත්‍රපටිවලට පමණයි. ඔහුගේ සැබෑ නම වෙලා තියෙන්නේ “එම්මානුවෙල් ඇලෝසියස් රොද්‍රිගෝ”.
අසෝක පොන්නම්පෙරුමට ඒකාලේ සිනමා ක්ෂේත්‍රයේ පටබැඳිලා තියෙන තිබ්බ නම තමයි “ලංකාවේ ශීවාජී ගනේෂන්”. ඒ ඔහු ශිවාජි ගනේෂන්ගේ රඟපෑම් අනුකරණය කරපු නිසා නම් නෙමෙයි. ශිවාජි ගනේෂන්ගේ රූපකායට සමානකමක් අසෝක පොන්නම්පෙරුමගෙන පෙනුණු නිසා. පාසල් කාලයේ ඉඳන්ම සිනමා රංගනයට දැඩි කැමැත්තක් දක්වපු අසෝක දවසක් තමන්ගේ මිතුරෙක් එක්ක සිනමාගාරයකට යනවා. ඒ වෙනකොට ඒ සිනමාගාරයේ හිටපු ඒ. ජබීර් මහත්මයා ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ සුනීතා චිත්‍රපටිය රඟපාන්න නියමිතව හිටපු ලැඩී රණසිංහ මහත්මයා කිසියම් හේතුවක් නිසා චිත්‍රපටයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. මේ නිසා අසෝකට සුනීතා චිත්‍රපටයේ තෝමස් සහ සිරා කියන ද්විත්ව චරිත රඟපාන්න සිද්ධ වෙනවා. සුනීතාගෙන් ඇරඹෙන සිනමා ගමනේදී අසෝක පොන්නම්පෙරුම සුන්දර බිරිඳ, සුහද දිවි පිදුම, ලන්ඩන් හාමු, ස්වීප් ටිකට්, මහ රෑ හමු වූ ස්ත්‍රිය වගේ චිත්‍රපටි ගණනාවකට සම්බන්ධ වෙනවා.
Saru Fm Media