ස්මාට්ෆෝන් එකක් ගන්නකොට ස්මාට්ෆෝන් ස්ක්‍රීන් ගැන දැන සිටිය යුතුම කාරණා මේවා තමයි – Saru Media

0
48


ස්මාට්ෆෝන් කියන්නේ තවදුරටත් විශාල මිලක් ගෙවලා ගන්න ඕන සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. ඒත් අඩු මිල ස්මාට්ෆෝන් එකක් වුනත් ගන්නකොට නිකම්ම රුපියල් දහදාස් ගණන් විසික් කරන්න බැහැනේ. තමන්ට හරියටම හරියන භාණ්ඩේ මේකද කියලා හොඳට හොයලා බලන්න වෙනවා. සාමාන්‍යයෙන් එහෙම ස්මාට්ෆෝන් එකක් ගන්න කලින් ඒ ගැන හොයලා බලනකොට ගොඩක් දෙනෙක් බලන දේවල් තියෙනවා. තමන්ට වියදම් කරන්න පුළුවන් මිල පරාසය තීරණය කරගත්තට පස්සේ ඊලඟට හිතන්න වෙන්නේ බ්‍රෑන්ඩ් එක ගැන. එතකොට ස්මාට්ෆෝන් එකේ මෙමරි එක, කැමරා එක, ස්ක්‍රීන් එක සහ අනෙකුත් තියෙන පහසුකම් ගැන. දැන් ඔය තමන්ට ගන්න ඕන ස්මාට්ෆෝන් එකේ ස්ක්‍රීන් එක ගැන හිතනකොට, ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්නේ ඒකේ ස්ක්‍රීන් සයිස් එක විතරයි. හැබැයි ඇත්තටම ස්මාට්ෆෝන් එකක් ගන්න හොයලා බලනකොට ස්ක්‍රීන් එක ගැන සයිස් එකට වඩා තවත් දේවල් හිතන්න වෙනවා. එහෙම සැලකිලිමත් වෙන්න නම් ස්මාට්ෆෝන් ස්ක්‍රීන් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න වෙනවා. ඉතින් අපේ ආටිකල් එක කියෙව්වා නම්, ස්මාට්ෆෝන් ස්ක්‍රීන් ගැන දැනගත යුතු හැමදේම සරලව දැනගන්න පුළුවන් වේවි.

 

1. ස්ක්‍රීන් එකේ සයිස් එක

අපි උඩිනුත් කිව්වා වගේ හැමෝම හොයන්නේ මේ ගැන තමයි. ඒකේ වැරැද්දකුත් නෑ. මොකද කෝල්ස් ගන්න, මෙසේජ් ගහන්න ඇරෙන්න තවත් වැඩ වලට පාවිච්චි කරන ස්මාට්ෆෝන් එකක ස්ක්‍රීන් ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ඇහැට කණට පේන ප්‍රමාණයක වෙන්න ඕන. මොකද ස්ක්‍රීන් එක දැන් කාලේ නම් අඩු ගාණේ අඟල් 4.5 ක් වත් නැති නම් ගොඩක් කටයුතු වලට කරදරයි. හැබැයි මෙතනදී තව දෙයක් ගැන හිතන්න වෙනවා. ස්ක්‍රීන් එක ගොඩක් ලොකු වෙනකොට ඔය ගේම් ගහන්න, වීඩියෝ එකක් බලන්න, ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න, ගූග්ල් කරන්න වගේ දේවල් ලේසි වුනාට සාක්කුවේ දාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, පහසුවෙන් අතින් අල්ලගෙන ඉන්නත් පහසු නෑ. එතකොට කොහොමද අපි හරි ස්ක්‍රීන් සයිස් එකක් තෝරගන්නේ? අන්න ඒ ගැන තමයි ඊලඟට කියන්න යන්නේ.

 

2. හරි සයිස් එක තෝරගමු

ස්ක්‍රීන් එකේ සයිස් එක ඔය අඟල් 5, 5.5, 6 කියලා කියන්නේ ස්ක්‍රීන් එකේ උස වත්, පළල වත් නෙවෙයි. මේක ගොඩක් අය පටලවා ගන්න දෙයක්. ඔය කියන්නේ ස්ක්‍රීන් එකේ එක් කොණක ඉඳලා අනෙක් කොණට, ඒ කියන්නේ හරහට තියෙන දුර. එතකොට ඔය අඟල් 5, අඟල් 6 වගේ ස්ක්‍රීන් සයිස් වලින් ඉස්සර ආවේ සැම්සන්ග් නෝට් වගේ තඩි ස්මාට්ෆෝන්. එව්වා සාක්කුවේ දාගෙන ඉන්න තියා, තනි අතකින් අල්ලගෙන වැඩ කරන්නවත් ලේසි නෑ. ඒත් ස්ක්‍රීන් එක ලොකුයි. ඒවට ස්මාට්ෆෝන් කියලා කිව්වෙත් නෑ. ඒවට කිව්වේ ෆැබ්ලට් කියලා!

හැබැයි දැන් වෙනකොට තත්වේ වෙනස්. දැන් පහසුවෙන් තනි අතකින් අල්ලගෙන වැඩ කරන්න පුළුවන් තරම් පටු, ඒත් ස්ක්‍රීන් සයිස් එක අඟල් 5.5, අඟල් 6.5 වගේ වෙන ස්මාට්ෆෝන් එනවා. තවදුරටත් ෆැබ්ලට් කියලා ජාතියක් ලෝකේ නැති තරම්. එතකොට මොකද්ද මේ රහස? රහස සරලයි. නිෂ්පාදකයෝ කරලා තියෙන්නේ ස්මාට්ෆෝන් එකේ ස්ක්‍රීන් රේෂියෝ එක වෙනස් කරලා. ඒ කියන්නේ තිර අනුපාතය. උදාහරණයක් විදියට ගත්තොත් OPPO F7 ස්මාට්ෆෝන් එකේ තිර ප්‍රමාණය අඟල් 6.23 ක් වුනත්, ඒ ෆෝන් එක තනි අතකින් පහසුවෙන් අල්ලාගෙන වැඩ කරන්න පුළුවන් තරම් හුරුබුහුටියි. මෙතන රහස වෙන්නේ තිරයේ උස සහ පළල අතර අනුපාතය 19:9 කියන විශේෂ එකක් වීම. හැබැයි පොඩි ස්මාට්ෆෝන් එකක ලොකු තිරයක් ඇතුළත් කිරීම පසුපස තවත් රහසක් තියෙනවා.

 

3. දාරෙටම සෙට් වුණු ස්ක්‍රීන් එක

මීට අවුරුදු පහකට හයකට කලින් ආපු ස්මාට්ෆෝන් උපාංග වල ඩිස්ප්ලේ එකයි, දැන් එන ස්මාට්ෆෝන් වල ඩිස්ප්ලේ එකයි සංසන්දනය කරලා බැලුවොත් පේන පැහැදිලි වෙනස තමයි, ස්මාට්ෆෝන් එකේ ඉස්සරහා පෘෂ්ටයෙන් ඩිස්ප්ලේ එකට වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙලා තියෙන තරම. ඉස්සර ඩිස්ප්ලේ එක දෙපැත්තෙන් සාමාන්‍ය ප්‍රමාණයේ දාර දෙකක් තියෙන අතරේ, ඩිස්ප්ලේ එකේ උඩින් සහ පහළින් සැලකිය යුතු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඒ ඉඩේ කැමරාව, ස්පීකර් එක සහ අනෙකුත් සෙන්සර් සෙට් කරලත් තව සෑහෙන්න ඉඩ ඉතුරුයි. ඒ නිසාම ෆෝන් එකත් සෑහෙන්න සයිස්.

හැබැයි දැන් එන ස්මාට්ෆෝන් සිහින් නිමාවෙන් යුතුවා පමණක් නෙවෙයි, දාර කියලා දෙයක් ඇත්තෙම නැති තරම්. එහෙම දාර වලින් ඉඩ තියන එක නැති කරන්න එක එක විදියේ ස්මාට්ෆෝන් නිර්මාණ සැලසුම් ගෙනැල්ලා තියෙනවා. ජනප්‍රියම එක තමයි Notch design එක. ඒකෙත් ස්ක්‍රීන් එක උඩ මැද්දේ හතරැස් කොටුවක් විතරක් ඉතුරු කරන එකේ ඉඳලා, වතුර බිඳුවක් වගේ චූටිම චූටි ඉඩක් ඉතුරු කරන එක දක්වා විවිධ Notch design තියෙනවා. එතකොට Infinity design කියන්නේ දෙපැත්තෙන් පහතට වක්‍ර වෙලා විහිදිලා යන විදියට දෙපැත්තේ දාර වල ඉඩ පාවිච්චි කරන නිර්මාණ සැලසුමක්. එතකොට ස්මාට්ෆෝන් එකේ සම්පූර්ණ මුහුණත පුරාම ඩිස්ප්ලේ එක පතුරුවන්න පුළුවන් විදියට ගෙනාපු Pop-up Camera design, Shark fin Camera design, Slider design වගේ එව්වත් දැන් සාමාන්‍ය දේවල්. මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නේ මොනවද? සාපේක්ෂව පොඩි සයිස් ෆෝන් එකක ලොකු සයිස් ස්ක්‍රීන් එකක් අන්තර්ගත කරන එක!

 

4. රිසොලියුෂන්

ස්මාට්ෆෝන් එකක තිරයේ රිසොලියුෂන් එක කියලා හඳුන්වන්නේ, කොයි ප්‍රමාණයේ තිරයක් ඇතුළේ කොයි තරම් පික්සල් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද කියන එක. සිංහලෙන් කිව්වොත් තිර විභේදනය. ඒ කියන්නේ 1280X720 නැතිනම් 720p කියන්නේ තිරස්ව සහ සිරස්ව තියෙන පික්සල් ප්‍රමාණය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රමාණයෙන් පොඩි තිරයක 720p පික්සල් ප්‍රමාණයෙන් ලැබෙන ගුණාත්මක භාවය, ප්‍රමාණයෙන් ලොකු තිරයක තියෙන 720p පික්සල් ප්‍රමාණයෙන් ලැබෙන්නේ නෑ. ඒක අපිට තේරෙනවනේ. එතකොට ඔය ලොකු සයිස් ස්ක්‍රීන් වලට යනකොට පික්සල් ප්‍රමාණයත් වැඩි වෙන්න ඕන.

දැන් 1080p කියලා හඳුන්වන්නේ 1920X1080 පික්සල් ප්‍රමාණයන්. එතකොට 2K කියන්නේ 2560X1440 පික්සල් ප්‍රමාණයන්. එතකොට 4K Ultra HD කියන්නේ 3840X2160 පික්සල් ප්‍රමාණය. ඒ වගේම 4K නැතිනම් True 4K කියන්නේ 4096X2160 ක පික්සල් ප්‍රමාණයක්. දැන් තේරෙනවනේ.

 

5. පික්සල් ඩෙන්සිටි

පික්සල් ඩෙන්සිටි නැතිනම් පික්සල් ඝනත්වය කියලා කියන්නේ, ස්මාට්ෆෝන් එකක ස්ක්‍රීන් එකේ පෙන්නන පින්තූර වල කොලිටිය මනින්න පුළුවන් තවත් ක්‍රමයක්. ඒ කියන්නේ අඟලක පැක් කරලා තියෙන පික්සල් ප්‍රමාණය. අන්න එතකොට පික්සල් ඝනත්වය දිහා බලලා අපිට වඩා නිවැරදිව නිගමනය කරන්න පුළුවන් ස්මාට්ෆෝන් ඩිස්ප්ලේ එකේ කොලිටිය. ඒකට ඩිස්ප්ලේ එක කොයි තරම් ලොකුද පොඩිද කියන එක වැදගත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ පික්සල් ඝනත්වය මනින්නේ ppi (Pixels per inch) කියලා තමයි. වැඩි පික්සල් ඝනත්වයක් තියෙනවා කියන්නේ තිරයේ කුඩාම ඩීටේල්ස් පවා හොඳට පෙන්නන්න පුළුවන්, පින්තූර වඩාත් ෂාප්, අකුරු වඩාත් ක්ලියර්, පේන දේවල් වඩාත් ස්මූත්, කෙටියෙන් කිව්වොත් සුපිරි කොලිටි කියලා තමයි. කොයි වගේ පික්සල් ඝනත්වයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එකට උදාහරණයක් විදියට අපි ගමු Samsung Galaxy S10 එක. මේකේ පික්සල් ඝනත්වය ආසන්න වශයෙන් 550ppi කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් 400ppi වගේ පික්සල් ඝනත්වයක් වුනත් ප්‍රමාණවත් මධ්‍යම පරාසයේ ෆෝන් එකක නම්.

 

6. මොනවද මේ HD ජාති

ඇත්තටම මේ HD ජාති සම්බන්ධ වෙන්නෙත් උඩින් කියපු රි​සොලියුෂන් කතන්දරේට තමයි. HD කියන්නේ High definition කියන එක. සරලව කිව්වොත් 720p නැතිනම් 7280X720 රිසොලියුෂන් එක. එතකොට බහුලවම පාවිච්චි වෙන Full HD කියන්නේ 1080p නැතිනම් 1920X1080 විභේදනය. ඊට පස්සේ ගොඩක් ජනප්‍රිය වුණු රිසොලියුෂන් එකක් තමයි QHD නැතිනම් Quad HD කියන එක. මේකෙන් කියවෙන්නේ 2K නැතිනම් 2560X1440 විභේදනය. ඊට පස්සේ Ultra HD කියන්නේ 3860X2160 විභේදනය. දැන් පැහැදිලියිනේ.

 

7. පැනල් වර්ග

ස්මාට්ෆෝන් ගත්තහම ඒවලට එක එක විදියේ තිර පැනලයන් භාවිතා කරනවනේ. මේ එක එක තිර පැනල වර්ග වල තාක්ෂණයන් එකිනෙකට වෙනස් වෙන්න වගේම සමාන වෙන්නත් පුළුවන්. හැබැයි මේ එක එක තිර පැනලයක විවිධ හොඳ තියෙනවා. ගොඩක්ම පාවිච්චි වෙන තිර පැනල වර්ග නම් කළොත් LCD, OLED, AMOLED, Super AMOLED, TFT, IPS වගේ ඒවා තමයි.  දැන් නම් IPS-LCD වගේ තිර පැනලයන් එහෙමත් සෑහෙන්න පාවිච්චි වෙනවා. මේ වල විවිධ වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් Samsung සමාගමේ ඉහළ පරාසයේ ස්මාට්ෆෝන් වලට එන Super AMOLED තිරයට AMOLED තිරයට වඩා හොඳින් හිරුඑළිය එක්ක වැඩ කරන්න පුළුවන් සහ වඩාත් අඩු බලශක්තියකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

 

ඇත්තටම මේ තිර පැනලයන් වර්ග ගැන අපිට ස්මාට්ෆෝන් එකක් තෝරනකොට වද වෙන්න බැරි තරම්. ඒ නිසා ඒ ගැන සාමාන්‍යයෙන් දැනුමක් ප්‍රමාණවත් කියලා අපි හිතනවා.

 





Saru News