ස්වයං විනාශකාරී යකඩ මිනිසා – මයික් ටයිසන් – Saru News Media

0
1

ලෝක බොක්සිං ඉතිහාසය ගැන කතා කරද්දී ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලී හා සමානවම කියවෙන තවත් නමක් තියනවා නම් ​ඒ තමයි මයික් ටයිසන්. මයික් ටයිසන්ගේ ජීවිතය දිහා හැරිල බලද්දී ඔහු​ගේ ලොකුම ප්‍රතිවාදියා වුණේ මයික් ටයිසන්මයි කිවුවොත් එය වැරදි නැති වෙයි. මයික්ගේ වටේ හිටපු උදවියට විතරක් නෙමයි, ඔහුටවත් තමන් තෝරාගන්නා විනාශයේ මාර්ගය සහ තමන්ව හරි හැටි තේරුම් ගන්න බැරිවුණා කියලයි අපිට හිතෙන්නේ. එහෙම නොවුණානම් ඔහු සමහරවිට ලෝක බොක්සිං ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා විදිහටත් මේ වෙද්දි සැලකෙන්න ඉඩ තිබුණා. වර්තමානය වෙද්දී අපි දකින්නේ එදා දැකපු නාහෙට නාහන දඩබ්බර මයික් ටයිසන්ව නෙමෙයි, පරිණත, නිවුණු ටයිසන් කෙනෙක්වයි අපිට අද පේන්නේ. ඉතින් අපි අද හිතුවා ඔහුගේ ජීවිතය ගැන සුවිශේෂී තොරතුරු සහිත ලිපි පෙළක් ඔබට ගෙන එන්න…

නිව්යෝර්ක් හි බෘක්ලින් හි බ්‍රවුන්ස්විල්වල උ​පත ලබන මයික් ටයිසන් තමන්ගේ කුඩා අවධිය ගත කරන්නේ ප්‍රචණ්ඩත්වය, අශිෂ්ටත්වය සහ අවිනීතිය පිරුණු පරිසරයකයි. බිළිඳු අවධියේම පියා ඔහුව සහ මවව අතහැර යෑමෙන් පසු​ව මව සමග හැදී වැඩුණු ටයිසන් කුඩා කාලේ ඇස් කණ්ණාඩි දාපු මහත දුර්වල, කුලෑටි කොළුවෙක් වුණා. ඔහුගේ මේ බාහිර පෙනුම නිසා පාසලේදී වගේම අවට සමාජයේදිත් මයික්ව උසුළු විසුළුවට, හිරිහැරයට ලක්වුණා. පාසැල් කාලයේදී දිනක් එක මැරෑටි ළමයෙක් තමන්ට පහර දී තමන්ගේ කෑම වේල පවා උදුරා ගන්න උත්සාහ ගත් බවත්, ​ඒ සිදුවීම සම්බන්ධව පසු කාලයකදී පවා තමන්ට ලැජ්ජා සිතුණු බවත් කීප වතාවක් මයික් ටයිසන් පවසා තිබුණා. ඒ අමිහිරි සිදුවීමෙන් පසුව මයික් ටයිසන් තමන්ගේ පාසල් ගමනටත් තිත තබනවා.

 

තාඩන පීඩනවලින් පිරුණු දුක්බර ළමා කාලයේ මයික් ටයිසන්ට තිබුණු ලොකුම සැනසීම තමයි පරවියන් ඇතිකර​න එක. තමන්ට හිරිහැර කරන, උසුළු විසුළු කරන සමාජයෙන් ඈත්වෙලා පරවියන් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න ටයිසන් ප්‍රිය කළා. ඔහු සතුව සුරතල් පරවියන් රැසක්ම හිටියා. කොහොම නමුත් දෛවෝපගතව ටයිසන් තෝරාගත් ප්‍රචණ්ඩ සටන්කාමී මාර්ගයට ඔහුට මග විවර කරන්නෙත් මේ අහිංසක පරවි ප්‍රේමයම තමයි. දවසක් ටයිසන්ට තාඩන පීඩන එල්ල කරන අහල පහල තවත් කොළුවෙක් ටයිසන්ගේ පරවියෙක්ව අල්ලගෙන උගේ බෙල්ල ගලවා මරා දමනවා. ඒ සිදුවීම දැකීමෙන් ඇති වෙච්ච වේදනාවත් කේන්තියත් නිසා ටයිසන් ඒ අසමජ්ජාති අසල්වැසියාට පහරක් ගහනවා. ඒ තමයි ටයිසන්ව ප්‍රචණ්ඩකාරීත්වයට ඇද දමපු පළමු මුෂ්ටි පහර. ඉන් පස්සේ කාලෙදි අතිශය ප්‍රචණ්ඩ චරිතයක් බවට පත්වෙන ටයිසන් කුඩා කාලෙදී තමන්ව අඩන්තේට්ටමට ලක් කළ සියල්ලන්ගෙන්ම වගේ එළව එළවා පළි ගත්ත බව කියනවා.

 

සියල්ලන්ගේම උසුළු විසුළුවට ලක්වුණු මයික් ටයිසන් නම් අහිංසක කොළු ගැටයා ඉතාම කෙටි කාලයකින් සොරකම්, මැරකම් ආදී සමාජ විරෝධී ක්‍රියාවලට ලැදි බවක් දක්වන තැනැත්තෙක් බවට පත්වෙනවා. ටයිසන් ඇතුළු පිරිස ජීවත් වුණු සමාජ පද්ධතියේ දුගී දුප්පත් බවත් පොදු සාධකයක් වෙලා තිබුණා. ඒ නිසාම සොරකම්, මංකොල්ලකෑම් ආදිය එදිනෙදා සාමාන්‍ය සිදුවීම් හැටියටයි සැලකුණේ. වයස අවුරුදු 10ක් 12ක් විතර වෙද්දී ටයිසන් ඇතුළු කොළු ගැටයින් එකතු වෙලා සිඟිති පාතාල කල්ලියකුත් නිර්මාණය කරගන්න සමත් වෙලා හිටියා. සොරකම්, මංකොල්ලකෑම් විතරක් නෙමෙයි, ආයුධ අරගෙන එකිනෙකා එක්ක සටන් කරන තරම් මේ කල්ලි ප්‍රචණ්ඩකාරී ඒවා වුණා. ටයිසන්ගේ තවත් ප්‍රියතම සොරකමක් වෙලා තිබ්බේ වයසක කාන්තාවන්ට නිවසට බඩු මල්ල රැගෙන යන්න උදවු කරන්න ඉදිරිපත් වී, පාළු පෙදෙස්වලදී ඔවුන්ට පහර දී මුදල් සහ වටිනා දේවල් කොල්ල කෑමයි.

 

ළමා කාලයේ පටන්ම නීති විරෝධී ක්‍රියාවනුත්, පොලිසියත්, මත් ද්‍රව්‍යත් සමග නිතර ගැටුණු ජීවිතයක් ගෙවුව ටයිසන්​ව පසු කාලයකදී ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙනවා. එහි බොක්සිං පුහුණුකරුවෙක් වුණු බොබී ස්ටුවර්ට්ගේ අවධානය දිනාගෙන බොක්සිං පුහුණුවට එකතු වෙන්න ටයිසන් සමත් වෙනවා. කුඩා කාලයේ පටන් වීදි සටන්වලට සහභාගි වෙලා පදම් වුණු චරිතයක් වුණු ටයිසන් ඉක්මනින්ම බොබී ස්ටුවර්ට්ගේ පුහුණුවෙන් උපරිම ඵල නෙලා ගන්නවා. තව දුරටත් මේ ගෝලයාව පුහුණු කරන්නට තරම් ශක්තියක් සහ පරාසයක් තමන්ට නැති බව වටහාගන්නා බොබී, ටයිසන්ව අරගෙන යනවා එක් සුවිශේෂී පුද්ගලයෙක් ගාවට. ​ඒ තමයි පසු කාලෙකදී ටයිසන්ට පියෙක් තරමට සමීප වෙලා, ඔහුගේ අයාලේ ගිය ප්‍රචණ්ඩකාරී ජීවිතේට හැඩයක්, පාලනයක් දෙන්න සමත් වෙන කස් ඩි අමාටෝ.

ටයිසන්ගේ සටන් විලාශය දිහා මද වෙලාවක් බලන් ඉන්න කස් ඩි අමාටෝ හැමෝම පුදුම කරවන අනාවැකියක් කියනවා. ​ඒ තමයි නිසි පරිදි පුහුණු කටයුතු සිද්ධ කළොත් ටයිසන් කවදා හරි බොක්සිං ලෝකයේ ලාබාලම හෙවිවේට් ශූරයා වේවිය කියන එක. පස්සෙ කාලෙකදි කස් ඩි අමාටෝගේ මේ අනාවැකිය සත්‍යයක් බවට පත් වෙනවා. ඒත් ​ඒ බව සියැසින් දැකගන්න කස් ඩි අමාටෝට හැකි වෙන්නෙ නැහැ. මොකද ටයිසන් ලෝක ශූරයා වෙන්න මද කාලයකට කලින් කස් මෙළොව හැර යන නිසා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here