සාර්ථක වෙන්න සාර්ථක කෙනෙක් වගේ හිතන හැටි – How successful people think – Saru News Media

0
14

සාර්ථක අය දිහා බලන අපි හානේ එයාලාට මේ මේ දේවල් තියෙනවා, අපි කොහොමද ඕවා කරන්නේ කියලා තවත් කර බා ගන්නවා මිසක් ඒ අයගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගැන හිතන්නේ නැහැ. මීයෙක් අල්ලන්න නම් මීයෙක් වගේ හිතන්න ඕනලුනේ. ඒ නිසා සාර්ථක කෙනෙක් වෙන්නට නම් සාර්ථක කෙනෙක් වගේ හිතන්නට ඕන. එයාලා හිතන්නේ කොහොමද? ඔව්, අපි වගේම හිතින් තමයි. ඒත් ඒ හිතන රටාවයි අපි පුරුදු කරගත යුත්තේ.

 

අපි හැමෝටම ඕන ෆිල්ම් වල, පොඩි කාලෙ අහපු කතන්දරවල තියෙනවා වගේ උදේ නැගිටලා කොට්ටෙ යට බලද්දි ඒක යට රත්තරං කෑල්ලක් හරි, මැණික් ගලක් හරි තියෙනවා දකින්න වුණාට අපි නිතර ඇඳ අස් කරන්නේ නැති නිසාද මන්දා ඒ ක්‍රමේ නම් හරි යන්නේම නැහැ. සාර්ථකත්වයට පත්වුණු කෙනෙක් ගැන හොඳට හෙව්වොත් ඔබට එක දෙයක් පෙනෙයි. ඒ තමයි එයාලා අවුරුදු ගාණක් කට්ට කාලා තියෙන බව. සමහරු උපතින්ම තමන්ගෙ මව්පියන්ගේ සල්ලි නිසා සාර්ථකයි වගේ පේන්න හිටියත් අපි හිතන්න ඕන ඒ අයගෙ වාසනාව ගැන නෙවෙයි, ඒ මහන්සි වෙලා ගොඩ ආපු මව්පියන් ගැනයි. බොහෝ වෙලාවට ඒ අයගෙ ජීවිත කථාවෙ හැංගුණු කොටසකුත් තියෙනවා. අන්න ඒ කාලයෙදි තමයි හුඟක්ම එයාලා ගොඩ එන්න ගේම ගහලා තියෙන්නේ. ඉතින් අපිටත් සාර්ථකත්වය පහළ වන්නේ නැති බවත්, ඒක වෙනුවෙන් බොහොම මහන්සියෙන් වැඩ කරන්න ඕන බවත් ඉගෙන ගන්න ඕන.

 

දැන් මෙහෙම ගොඩයන්න ගේම ගහද්දි කකුලෙන් අදින අය, වෙන වෙන ස්වාභාවික විපත් ආදිය නිසා ඕනතරම් බාධක එන්න පුළුවන්. මේ බාධක වලට අපි මුහුණ දෙන්න ඕන අපිට වෙන්න ඕනෑ කෙනෙක් විධියටම යි. ඒ කිව්වේ “සාර්ථකව මුහුණ දෙන්න” ඕන. අමාරුවෙන් කරපු වැඩක් අවුල් ගියාම මේක හරියන්නෙ නෑ කියලා දමලා ගහන නිසාම තමයි අපි සාර්ථක වෙන්නේ නැත්තේ. නමුත් කරන්න ඕනේ; ඒ වැරදුණු දෙයින් වැරදුණු හැටි, වැරදුණේ ඇයි, ආයෙත් වැරදෙන්නේ නැති වෙන්න අපිට කරන්න පුළුවන් මොනවාද කියන එක ඉගෙන ගන්න එකයි. වැරදුණු අවස්ථාවේදී සල්ලි ගොඩක් නැති වෙන්න පුළුවන්, වටිනා දෙයක් විනාශ වෙන්න පුළුවන්. ඒවායෙන් සැලෙන්න එපා. මේ වගේ සිය දහස් ගුණයක් ගොඩ ගියාට පස්සෙ අපිට ගන්න පුළුවන්. තාම දණ ගාන්න පටන් ගත්තා විතරයි. ඇවිදින්න පටන් ගත්තාට පස්සේ පියාඹන්නත් (ප්ලේන් එකකින්) පාර හැදෙන බව අමතක කරන්න එපා.

 

උඩට යන අපේ කකුලෙන් අදින එකම එකා වෙන කවුරුත් නෙවෙයි අපිමයි. පොඩ්ඩක් අවුලක් ගියොත් “උන්ට නම් හරියනවා, අපිට තමයි නැත්තෙ” කියලා ඔන්න සේරම දමලා ගහලා පැත්තකට වෙනවා. එහෙම බෑ. යන්න තියෙන හීනය නිතර අමතක වෙනවා වගේ නම් ඇඳ ඉස්සරහා බිත්තියේ හීනය ලියලා හෝ පින්තූරයක් විධියට හැකි විධියට ඇඳලා අලවන්න. එතකොට උදේ නැගිට්ටාම මේක පේනවා. කරන්න ඕන දේවල් ටික ඔළුවට එනවා. තව ටිකක් නිදාගන්නවා කියන කම්මැලිකම විසි කරලා හොඳ හුස්මක් අරගෙන ඇඳෙන් පනින්න ඒක උදව්වක් වේවි. මොකද, අද නිදාගත්තොත් හැමදාම නිදාගන්න වෙන්නේ ඔය දුප්පත් ඇඳේම තමයි. ඔය ඇඳේ නිදාගන්න එන්න කවුරුවත් කැමති වෙන්නෙත් නෑ, ඉඩත් නෑ! ඒ නිසා අද ඉන්න තැන සහ ඔබට වෙන්න ඕන තැන ගැන නිරන්තරයෙන් සංසන්දනය කරමින් ධෛර්යය ඇති කරගන්න. එතනට මම යනවා! මට ඒක කරන්න පුළුවන්!! කියන ධනාත්මක සිතුවිල්ලෙන් හිත පුරව ගන්න.

 

සාර්ථකත්වයේ තවත් රහසක් තමයි හිතා දිනාගැනිල්ල. මම මගේ ගමන යනවා කියලා හැමෝගෙන්ම අයින් වෙලා යන්න ගියොත් වැඩේ ටිකක් අමාරු වෙනවා. ඔය ගමනෙදි අපිට ගොඩක් දෙනෙක්ගේ උදව්, ආශීර්වාදය අවශ්‍ය වෙනවා. එතකොට තව කෙනෙක් මතින් උඩට යන්න, ඒ අය දන්න කියන අය අඳුරගෙන එයාලගෙන් අපිට යමක් කරගන්න වගේ දේවල් බොහොමයක් අවශ්‍ය වෙනවා. ඉතින් කවුරු කොච්චර තරහ වුණත්, වළ කැපුවත් එයාලාව ශේප් එකේ තියාගන්න. කවදා කවුරු ඕන වෙයිද දන්නෙ නෑ. අනෙක අද වළ කපන අය අපි නොවැටී උඩට යන හැටි දැක්කාම අපි එයාලගේ හොඳම යාළුවෝය කියලා හතර වටේ පම්පෝරිත් ගහලා අපිට ඉණිමං බැඳලා දෙන්නේ අපිට හිතාගන්නත් බැරි විධියටයි. හැබැයි එදාට එයාලාව පැත්තකට කරන්න එපා. මනුස්සයාගෙ හැටි දැනගෙන හොඳ විධියට සලකන්න.

 

ලොකු කම්පැණිවල හැම මාසෙකම අන්තිමේ, අවුරුද්ද අන්තිමේ රිපෝට් එකක් හදන්නෙ ඇයි කියලා දන්නවද? අපි ගොඩක් දෙනෙක් මාසෙ ඉවර වුණාම හා, ඒ මාසෙ ඉවරයි දැන් අලුත් එකක් කියලා සාමාන්‍ය විධියටම ජීවත් වෙනවා. ඒත් මාසයක් නෙවෙයි, දවසක් ඉවර වුණත් ඒක මහා අත්දැකීම් සමූහයක්. ඒ අත්දැකීම් ගැන අපි ඒක අවසානයේ විශ්ලේෂණය කරන්න ඕන. මොනවද අද වුණේ, අද මම මොනවගේ දේවල් ද කළේ, ඒකෙන් මගේ ගමනට කොච්චර සහයෝගයක් ලැබුණාද කියලා නිදාගන්න ගියාම නින්ද යනකම්වත් ටිකක් කල්පනා කරන්න. එතකොට උත්තරේ “මුකුත් නෑ” නම්, හෙට එහෙම නොවෙන්න ඔබට වැඩ ලැයිස්තුවක් ලැබෙනවා. මෙහෙම යද්දි ඔබට ජයකණු මුණ ගැහේවි. ඒවා ගැන නිතර කල්පනා කරලා සතුටු වෙන්න. දුකක් වුණු වෙලාවට දැන් තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න. සතුට සහ ධෛර්යය තමයි අපිව ඉදිරියට අරගෙන යන්නේ.

 
Cover Image Source – foundationeducation.edu.au/ cnbc.com/ amazonaws.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here