හරි විදියට ප්‍රොටෙස්ට් කරමුද? – Saru FM Media

0
96


දැන් මේ දවස් වල දෙයියනේ කියලා විරෝධතා, උද්ඝෝෂණ රැල්ලක් ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම රටේ මතුවුණු ආර්ථික අර්බුදයටත්, ඒ ආර්ථික අර්බුදය ඇතිවෙන තැනට පාර කපපු ලංකාවේ දේශපාලනයත්, විශේෂයෙන්ම රට මේ වගේ තැනකට අරගෙන ගියපු වර්තමාන ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාටත් එරෙහිව තමයි මේ විරෝධතා රැල්ල මතු වෙලා තියෙන්නේ. විහාරමහාදේවි පාක් එක ගාව පටන් ගත්තු සාමකාමී උද්ඝෝෂණයෙන් පටන් ගත්තු මේ විරෝධතා රැල්ල ජනාධිපතිගේ මිරිහානේ ගෙදර ඉස්සරහා පැවැත්වුණු විරෝධතාවයෙන් පස්සේ රට පුරාම හැම ටවුමකම පැවැත්වෙන විරෝධතා විදියට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගාළුමුවදොර පිටියේ පටන් ගත්තු විරෝධතාවය මේ වෙනකොට දින ගණනාවක්ම නොනවත්වාම පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් පැවැත්වෙන්නේ, වාඩිලා ගැනීම් විරෝධයක මුහුණුවරක් අරගෙන. එක විදියකට මේක, ලංකාවේ මිනිස්සු තමන් පුරවැසියන් කියන එක මතකෙට නගාගත්තු බොහොම සුන්දර අරගලයක්.

 

ඉතින් අරගලය ගැන කතාව ඒකයි. හැබැයි අපි හරියට අරගලේ කරනවද? ඒකට උත්තරේ වෙන්නේ “දන්නෙ නෑ” කියන එක. විශේෂයෙන්ම මේ දවස් වල රට පුරා යන අරගල රැල්ල පිටුපස්සේ ඔය වෘත්තිය අරගලකරුවොත් හිටියට, ඒවල වැඩිහරියක් ඉන්නේ පාට පක්ෂ භේද නැතුව එළියට බැස්ස රටේ මිනිස්සු. එතකොට ඔය අරගලය කියන එක නියම ආකෘතියකට නොවෙන්න පුලුවන්. හැබැයි ඒකට කමකුත් නෑ. ඒත් ඉතින් අරගලයක්, විරෝධයක් ඇතුළේ වුණත් අපි හැමෝම තියාගන්න ඕන, පිළිපදින්න ඕන වටිනාකම්, එතික්ස්, ආචාර ධර්ම තියෙනවා. ආන්න එව්වා ගැන ඔළුවේ තියාගෙන තමයි මේක කරන්න ඕනේ. අපි ඒ ගැන ටිප්ස් ටිකක් ලබාදෙන්න හිතුවා, නොදන්න අයට දැනගන්නත් එක්ක.

 

දැන් විරෝධතාවයක් කියන්නෙම යම් කිසි ආවේගයක් එක්ක එන දෙයක්, එහෙම නෙවෙයිද? නිකමට හිතලා බලන්න, අපි සද්දයක් නැතුව පාරට වෙලා බෝඩ් අල්ලගෙන හිටියත්, එතන ඉන්න අපිව පොළඹවන්නෙත් අපේ ඔළුවේ කැකෑරෙන විරෝධතා ආවේගයක් නෙවෙයිද කියලා. අන්න ඒක තමයි කතන්දරේ. මේක ආවේගශීලී පිට කිරීමක්. හැබැයි ඒ ආවේගය ගෙනියන්න ඕනෙ හරි පාරේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු විරෝධතා පාඨ කියමින් බොහොම උද්වේගයෙන් විරෝධතාවය කර ගෙන යනවා කියලා. අන්න එතකොට අපි කියමු අනික් පැත්තෙනුත් ආවේගකාරී ප්‍රතිචාරයක් එනවා කියලා. අන්න එතකොට අපිට රත් වෙලා තියෙන හැඟීම් එක්ක නිසඟයෙන්ම එන ප්‍රතික්‍රියාව වෙන්නේ ආපිට ප්‍රචණ්ඩ විදියට ප්‍රතිචාර දැක්වීම. හැබැයි අපි කියන්නේ එහෙම එපා කියලා. ආවේගය යොමු වෙන්න ඕන විරෝධතාවය නවත්තන්නෙ නැතුව ඉදිරියට කරගෙන යන්න තමයි. එහෙම නැතුව ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න නෙවෙයි.

 

සාමාන්‍යයෙන් විරෝධතාවයක් එල්ල වෙන්නේ පාලක පක්ෂයටනේ. එතකොට පාලක පක්ෂයේ පැත්තෙන් විරෝධතාවය මර්දනයට හරි, විරෝධතාවයට ප්‍රතික්‍රියා දක්වන්න හරි ඉදිරිපත් කරන ඒ අයගේ මෙවලම වෙන්නේ ආරක්ෂක අංශ. ඒ කියන්නේ පොලිසිය, කැරලි මර්දන ඒකක, හමුදාව වගේ නිල වශයෙන් රටේ පවතින ආරක්ෂක අංශ. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි, විරෝධතාකරුවන්ගේ සතුරන් හැටියට මේ ආරක්ෂක අංශ දකින්න බොහෝ දෙනෙක් පෙළඹෙන එක. හැබැයි අපි කියන්නේ එහෙම කරන්න එපා, එහෙම නොවෙන මානසිකත්වයක් ඇති කර ගන්න කියලා තමයි. ආරක්ෂක අංශ සතුරන් විදියට දකින්නේ නැතුව, ඔවුන් රාජකාරියක් කරන සහෝදර මිනිස්සු විදියට දකින්න. නීතිවිරෝධී කිසිම දෙයක් නොකර, ආරක්ෂක අංශ එක්ක නොගැටී ඉන්න උත්සාහ කරන්න. එහෙම තියෙනකොටත් ආරක්ෂක අංශ වලින් ප්‍රශ්නයක් වුණොත්, ඒක නීතිමය හෝ දේශපාලනමය ආකාරයකින් විසඳගන්න පුලුවන්.

 

දැන් ඔය සමහර විරෝධතා අවස්ථා වල දකින්න ලැබෙන දෙයක් තමයි විරෝධය අල කරන්න හිතාමතාම වෙනත් පාර්ශව වලින් බස්සපු හෝ, එහෙම නැතිනම් තමන්ගේ පුද්ගලික මතිමතාන්තර නිසා විරෝධය අල කරන්න ආපු පිරිස්. මේ අය සාමකාමී විරෝධතාවයක් වුණත් අල කරලා දාන්න පාවිච්චි කරන සුලභ උපක්‍රමයක් වෙන්නේ, මුලින්ම මොකක් හරි ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුල පුරන එක. ඒ කියන්නේ ඒක පොලිසිය පැත්තට ගලක් විසි කිරීමක් වෙන්න පුලුවන්. එතකොට ඊලඟට සිද්ධ වෙන කණගාටුදායක දේ වෙන්නේ, අනික් මිනිස්සුත් ඉවක් බවක් නැතුව ඒ ක්‍රියාව පස්සේ යන එක, ඒක අනුකරණය කරන එක සහ අන්තිමට ආරක්ෂක අංශ ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන එක. අන්න ඒ නිසා, එහෙම විරෝධතාවයක් අතරේ, විරෝධතාවයට නොගැලපෙන විදියට ප්‍රශ්න ඇති කරන අය හිටියොත්, කරුණාකරලා ඒ අයව අන්ධානුකරණයෙන් අනුගමනය නොකර ඉන්න. ඊලඟට විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙන විදියට එහෙම ප්‍රශ්න ඇති කරන අයව වහාම එතන විරෝධතාවයෙන් ඉවත් කරවන්න, එහෙම නැතිනම් ආරක්ෂක අංශ වලටම භාර දෙන්න.

 

මෙන්න මේක විරෝධතාවයකට එකතු වෙන ඕනම කෙනෙක් මතක තියාගන්න ඕන වැදගත් කාරණයක්. ඒ තමයි, පුද්ගලික ප්‍රහාර වලින් තොරව විරෝධතාවයක් ගෙනියන්නේ කොහොමද කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපි රටේ පාලකයාට විරුද්ධව විරෝධතාවයක් ගෙනියනවා කියලා. අන්න එතකොට, අපි සටන් පාඨ විදියට පාවිච්චි කරන්න ඕන, බෝඩ් වල අඳින්න ලියන්න ඕන, ඇයි අපි රටේ පාලකයාට විරුද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබිඹු වෙන දේවල් විතරයි. එහෙම නැතුව අපි රටේ පාලනයට කිසිසේත්ම අදාළ හෝ සම්බන්ධ නැති පුද්ගලික කාරණා පාවිච්චි කරලා අපහාස කරන්න උත්සාහ කරනවා නම්, ඒවා අයිති වෙන්නේ පුද්ගලික ප්‍රහාර ගණයට. ඒ නිසා එහෙම පුද්ගලික ප්‍රහාර, අදාළ නැති මිනිස්සුන්ව ඈඳලා කරන අපහාස, ශරීරය හෝ හැඩය හෝ පදනම් කරගෙන කරන අපහාස උපහාස වගේ දේවලිනුත් වළකින්න ඕන.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here