හිමි අහිමි – 19 කොට​ස – Saru FM Media

0
97


“මම ඕනම දේකදී ඔයා ළඟ ඉන්නවා… ඔයා ඒ බව දන්නවා” නිතාරත් පිළිතුරු දුන්නේ ස්ථිර හඬකින්..

 

“නිතූ… ඔයා අපේ ගෙදර ගැන අහද්දී මම හැමවෙලාවෙම අසරණ වුණු තැනක් තිබුණා” ටිකක් වෙලා දුර ඈත අරමුණක් නැති හිස් අහස දිහා බලාගෙන හිටපු විමංග ආයෙමත් හඬ අවදිකළේ කතාව කියන්නම්කො වගේ ස්ථිර බැල්මක් එක්කමයි.

 

“මට එහෙම දෙයක් දැනිලා නැහැ කවදාවත්. එහෙම ඔයා අසරණ වෙන ප්‍රශ්නයක් දැන දැන ඔයාගෙන් අහන්නෙ නැහැ මම එහෙනම්” නිතා​රගේ පිළිතුරේ රැඳිලා තිබුණේ ප්‍රශ්නාර්ථයක්…

 

“ඒ තමයි නිතූ අපේ අම්මා… ඔයා මගෙන් නිතරම ඇහුවා නේද අම්ම ඔයාට අකමැතිද කියලා? එයා ඇත්තටම අකමැති ඔයාට නෙමෙයි. මට” එහෙම කියද්දී විමංගගේ ඇස් දෙක දිලිසුන හැටි නිතා​රට හොඳින්ම  පෙනුණා. පුදුමයත් එක්කම දෙන්න ඕන පිළිතුර ගලපගන්න බැරිවුණත් නිතාරා දිගටම අහගෙන හිටියා…

 

“ඒ මගේ අම්මා නෙමෙයි නිතූ… එයා මගේ කුඩම්මා” ඒ වචන ටික ඉවරවෙද්දීම විමංගට කලින් නිතාරගේ ඇස් දෙකේ කඳුළු පිරුණා…

 

“අනේ…” මොනවා කියාගන්නද නොතේරුණත් නිතා​රගේ කටින් ඉබේම ඒ වචනය පිටවුණා…

 

“ඔව් නිතූ… එයා මගේ කුඩම්මා… හැබැයි අම්මා ඇත්තටම මට සාමාන්‍ය කුඩම්මා කෙනෙක් වගේ නරකට සලකලා නැහැ. ඒත් අම්මා කවදාවත් මට විශේෂ ආදරයකින් සලකලත් නැහැ. පුංචිම කාලේ මට හිතුනේ මල්ලි පවුලේ බාලයා නිසා අම්මගේ වැඩි ආදරේ පොඩ්ඩට ලැබෙනවා කියලයි. මේ ලඟක් වෙනකම්ම මම ඇත්තටම හිතාගෙන හිටියේ එහෙම. විමංග දිගටම කතා  කළා.

 

“පුංචිම කාලෙ එක දවසක් සුමනම්මගේ කටින් මගේ අම්ම ගැන දෙයක් කියවුණා… නෝනව ලොකු බේබිගේ අම්මගේ ළඟින්වත් තියන්න බැහැ වගේ කතාවක් කියල සුමනම්මා ඇස් දෙකේ කඳුළු පුරවගෙන  කල්පනා කළා. ඒ හයක් හතරක් නොතේරෙන කාලෙ මම ඒ කතාවට හරියට පුදුම වුණා. ඒත් ආයෙත් දෙයක් අහන්න මට දැනුමක් තිබුණේ නැහැ. පස්සේ එතනදී අප්පච්චි කවදාවත්ම නැතුව සුමනම්මාට බැන්න මතකයි විකාර කියවන්න එපා වගේ එකක් කියලා” 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here