විමංගගේ තනියට එයාගෙ ගෙදර යන්න හරිම සැහැල්ලුවෙන් එකතු වුණත් නැවත එන ගමනේ ඒ සැහැල්ලුව දශමයක තරම්වත් තිබුණේ නැති බව නිතාරා මතක් කළේ ලොකු කම්පනයකින්. විමංගගේ අම්මගෙන් සුහඳ පිළිගැනිමක් බලාපොරොත්තු නොවුණත් මේ තරම් ලොකු හිත් රිදවීමකුත් විමංග කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු බව නිතාරා හොඳින්ම දැනගෙන හිටියා. විමංග ගෙදර ගියේ වැඩිපුරම සුමනම්මගේ උවමනාවට. විමංගගේ නමට ලඟ ලඟ දිනවල ලැබුණු ලියුම් කීපයක් ගැන සුමනම්මා කියපු බව විමංග නිතාරට කිව්වේ ගෙදර යන අතරමගදී. ඒත් පුදුමයකට වගේ ඒ ගැන ඇහුවම විමංගගෙ අම්මා උත්තර දුන්නේ එහෙම කිසිම ලියුමක් ලැබුණෙ නැහැ කියලයි. කතාව පටන් ගත්තේ එතනින්. කීයටවත්ම නොහිතූ විදිහට අම්මා විමංගට බැනවැදුණේ සුමනම්මා ඉදිරිපිටමයි.
“ලොකු පුතා… ඔයාට ලියුමක් ආවනම් මම ඒ බව නොකිය ඉන්නෙ නැහැනේ. එක එක්කෙනාගෙ කේලම් අහලා මාව ප්‍රශ්න කරන්න එපා. ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවනම් මම කෙලින්ම කතා කරල ඒ ගැන කියන්නම්. කොහොමටත් මම හෙට අනිද්දට ඔයාට කතා කරන්න හිටියෙ අප්පච්චිගෙ ප්‍රොපටීස් ප්‍රශ්න විසඳගන්න”. අම්මා එහෙම කිව්වෙ ස්ථිර වගේම හරිම සැර හඬකින්.
“අනේ නෑ අම්මා… මම හිතුවෙ යුනිවර්සිටි එකෙන් මොනවහරි ඇවිත් ඇති කියල. අනික මේ… ප්‍රොපටීස් ගැන මාත් එක්ක මොනවා කතා කරන්නද අම්මා. ඔයා ඒව තීරණය කරන්න. මට අප්පච්චි නැතුව වෙන කිසිම දේකින් වැඩක් නැහැ අම්මා” විමංග එහෙම කිව්වේ හැඬුම්බර හඬකින් බව නිතාරා සිහිපත් කළේ ලොකු හිත් වේදනාවකින්. ඒ වචන ටික ඉවරවෙන්නත් කලින් අම්මගෙන් ලැබුණ පිළිතුර මේ දැනුත් නිතාරගෙ කන් ඇතුලේ දෝංකාර දෙනවා වගේ.
“නෑ නෑ… ඔයාගෙන් උපදෙස් ගන්න කතා කරනවා නෙමෙයි… මම ඒවා තීරණය කරල ඉවරයි. අප්පච්චි ඔයාට දෙන්න තියෙන දේවල් දීලා ඉවරයි. ඔයා දන්නවනේ ඒ මොනවද කියල. ඔය කාර් එකයි, අපාර්ට්මන්ට් එකයි, ඔයාගෙ බෑන්ක් බැලන්ස් එකයි විතරයි. හදාගන්න ගත්ත දරුවෙකුට ඊට වඩා දෙයක් දෙන්න අප්පච්චිගෙ හිතේ කොහොමටත් අදහසක් තිබුණෙ නැහැ විමංග. ඉතුරු දේවල් හම්බවෙන්නෙ අප්පච්චිගෙ නියම උරුමක්කාරයා වෙච්ච මල්ලිට. ඔයාට දැනගන්න අයිතියක් තියෙන නිසා කිව්වේ”. විමංගගෙන් පිළිතුරක් ලැබෙනකන්වත් බලාගෙන නොඉඳපු අම්මා කාමරේට ගිහින් ක්ෂණිකව දොර වහගත්තේ සුමනම්මා පුදුමයෙන් බලාගෙන ඉද්දි.
කොහොමටත් වචනයක් කියන්න තරම් සිහියක් විමංගටත් ඒ වෙලාවේ නොතිබෙන්න ඇති. නිතාරා මේ හැමදේම බලාගෙන හිටියේ ටෙලි නාට්‍යයක දර්ශන නරඹනවා වගේ. ටිකක් වෙලා හිස් බැල්මෙන් බලාගෙන හිටිය විමංග නිතාරගේ අතින් ඇදගෙන ගෙයින් එලියට බැස්සෙත්, සුමනම්මා ඉකි ගගහා අඬමින් විමංග පස්සෙන් දුවගෙන ආවෙත් එකටම වගේ.
“අනේ ලොකු බේබි මේ කතා අහන්න එපා…” කියමින් සුමනම්මා දුවගෙන ආවත් විමංග ඒ කිසිම දෙයක් අහන්න නැවතුණේ නැහැ. ඒ තියා නිතාරාව ගෙවල් ලඟ පාරෙන් බස්සනකම්ම විමංග එක වචනයක්වත් කතාකළේ නැහැ. අම්මා තමන්ගේ නොවන බව දැනගෙන ලොකුවට අවුල් නොගියත් මේ තරම් ආදරය කරපු අප්පච්චී තමන්ගේ නෙමෙයි කියන කතාවනම් විමංගට කොහොමත්ම දරාගන්න බැරිබව නිතාරා හොඳටම දැනගෙන හිටියා. ඒ නිසාමයි ඇය හිතුවේ විමංගට ඇමතුමක් අරන් මේ ගැන කතා කරන්න.
අනෙක් පසින් ඇසුණේ නිතාරා හිතපු තරම්ම දුක්බර කටහඬක් නෙමෙයි.
“බබා ඔයා ගියාද? කෑවද?” නිතූ ඇහුවේ එකපාරටම ප්‍රශ්න ගැනම අහන්න බැරිකමට…
“දැන් ඇවිල්ල ටිකක් වෙලා නිතූ… මම ඔයාට ගන්න හැදුවෙ. කතා කරන්න දේවල් ටිකක් තියෙනවා” විමංග පිළිතුරු දුන්නේ කල්පනාබර හඬකින්
“මට තේරෙනවා… ඔයා අවුලෙන් නේද? මම එන්නද කතාකරන්න?” නිතරා ඇහුවේ ඇත්තටම දුකෙන්.
“නෑ නෑ එපා. ඔයා හිතනව වගේ අවුලක් නෙමෙයි. අම්ම ඒ කියපු දේ ගැන මට ගැටළුවක් නැහැ නිතූ. ඒක මම කීයටවත් විශ්වාස කරන්නෙ නැහැ. ඔයාටත් මතක ඇතිනේ අප්පච්චිගෙයි මගෙයි පෙනුම කොයිතරම් සමානද කියල. ඒකම ඇති මට මේ කතාව බොරුවක් කියන්න. ඒත් මෙතන අපිට නොතේරෙන කතාවක් තියෙනවා බබා. මට ඒකයි හොයාගන්න ඕන” විමංගගේ ඒ කතාවෙන් නිතාරා පුදුමයට පත්වුණා.
ඇත්තටම නිතාරටත් ඒ ගැන කල්පනා වුණේ විමංග කිව්වම. විමංගගේ අප්පච්චිගේ මළ ගෙදර බැනර් වල තිබුණ ඔහුගේ තරුණ වියේ පින්තූර විමංගගේ දැන් පෙනුමට බොහෝසෙයින් සමාන බව නිතූගෙ අම්මයි තාත්තයිත් කතාවුණා ඇයට මතකයි. එහෙනම් මොකක්ද මේ අම්මා කියන කතාව. නිතාරා පිළිතුරු නොදීම කල්පනා කළා.
Saru Fm Media