හිසරදය හැදුණේ නැති කෙනෙක් මිහිපිට නැති තරම්. මිනිසාගේ මූලික ඉන්ද්රිය වන හිස තුළ පිහිටා ඇති මොළය හිසරදයට මූලික ලෙසම හේතු වෙනවා. සිරුරේ පද්ධති ගණනාවක යාමනයට හේතු වෙන මොළය සුළු අහිතකර තත්ත්වයක් ආවත් එහි සංඥාව හිසරදය ලෙස අපිට ලබා දෙනවා. ඉතින් හිසරද තත්ත්වයන් මොනවද? ඒ තත්ත්වයන් සමනයට ගන්න පුළුවන් ආහාර මොනවාද කියලා අපි බලමු.
ආයුර්වේද ශාස්ත්‍රයට අනුව නම් හිසරදය ඇති වන්න කෑම බීම ආදිය මූලික වෙනවා. උණුසුම් කාලගුණයක්, දේශගුණයක් පවතින කාල වල උෂ්ණාධික ආහාර වන බල මාළු, හුරුල්ලෝ, දෙල් වැනි කෑම වර්ග ගතහොත් සිරුරේ වාත, පිත, සෙම කෝප වී ඒ මගින් හිසරදය ඇති වෙනවා. ඒ වගේම ශීතල තිබෙන වැසි කාල සීමා වලදී ශීතල ගතිය වැඩි කරන පිපිඤ්ඤා තලනබටු, ලබු වැනි ආහාර නිතර ගැනීමත් හිසරදය වැඩි කරන්නට හේතු වෙනවා. හිස යන ඉන්ද්රිය මිනිසාගේ සුඛ විහරණයට කෙලින්ම බලපාන බැවින් වාත, පිත, සෙම කෝප නොවන ආකාරයට ජීවත් වීම තුළින් හිසරදය අවම කරගන්න පුළුවන් බව ආයුර්වේද මතය වෙනවා.
ගර්භණී සමයේදී ඇතිවෙන හිසරදය ගර්භණී බව ඇති වී මාස තුනකින් හෝ දෙකකින් ඇතිවිය හැකියි. එය රුධිර පීඩනය හා සෘජුවම සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. හිසරදය සමග බොඳ වුණු පෙනීම, දෘෂ්ඨියේ ලප ඇතිවීම, දකුණු උදරේ වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් එය Preeclampsia නැමැති තත්ත්වය වෙන්න පුළුවන්. එම තත්ත්වය සහ මිග්රේන් තත්ත්වයන් තිබේ නම් ආහාර සඳහා චොකලට් කැෆේන් ඇතුළත් බීමවර්ග, කිරි, කල්තබාගන්නා මස් ජාති වලින් ඈත්වීම සුදුසු වෙනවා.
ආහාර වේලක ඇති යකඩ කියන්නේ අපේ පෝෂණයේ ඛනිජ ලවණ කොටසට අයත් ඉතා වැදගත් පෝෂ පදාර්ථයක්. මේ යකඩ හිඟතාවය නිසාත් සිරුරේ හිමොග්ලොබින් අඩු වීම, හිසකෙස් ගැලවීම, හිසරදය සහ අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා යකඩ බහුලව ඇති පීකුදු, මුහුදු ආහාර, කුකුළාගේ පපු කොටස, රතු සහල්, වට්ටක්කා ඇට, වියලි පළතුරු, නිවිති වැනි යකඩ බහුල ආහාර ගැනීම මගින් යකඩ ලබාගැනීමට අපිට පුළුවන්.
ගැස්ට්‍රික් තත්ත්වය නිසා මූලික වශයෙන් උදරයේ, පපුවේ වේදනාව ඇති වුවත් ඇතැම් විටක දරුණු හිසරදයක්ද ගැස්ට්‍රික් නිසා ඇතිවන්නට හැකියි. ඒ නිසා ආහාර ලෙස ගස්ලබු, නිවිති, වට්ටක්කා, අලිපේර වගේ දිරවීම වේගවත් කරන ආහාර වර්ග මෙන්ම නිවර්තන පළතුරු වර්ගත් ගැස්ට්‍රික් තත්ත්වයෙන් සහනයට උපකාරී වෙනවා. හිසරදය ඇතිවෙන්නේ ගැස්ට්‍රික් නිසානම් ක්ෂණික සහනයට මේද අඩංගු යෝගට්, ඔලිව් ඔයිල් සහිත සහ ඇටවර්ග, සැමන් මාළු ඇතුළත් කෑම වර්ග වඩාත් යෝග්‍ය වෙනවා. ලංකාවේ සමහරුන්ට නම් තැඹිලි ගෙඩියක් පානය කිරීම ගැස්ට්‍රික් සහ ඒ නිසා ඇතිවෙන හිසරදයට ක්ෂණික සහනයක් දෙනවා.
Saru Fm Media