ළමුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරවන්නන්ට වැඩ වරදින ලකුණු – Saru FM

0
75


සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප, හඩපට, වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග ලබා දී පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල ළමුන් පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබුණ ද ඒ සම්බන්ධව විමර්ශනය කිරිමේ දි එම ඇතැම් පැමිණිලි අසත්‍ය බවට අනාවරණය වී තිබෙනවා.

පැහැර ගැනීමට තැත් කිරීම් වලට අදාල අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිඳු තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හා අන්තර් ජාල ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා එම ප්‍රචාරයන්ට සහාය දක්වමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය සඳහන් කර සිටිනවා.

මීට පෙරද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් සිදු කර ඇති අතර කිසිදු වගකීමකින් තොරව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ පල කරනු ලබන මෙවැනි පුවත්වලට නොරැවටෙන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුම් දී තිබෙනවා.


Saru Fm Media