අහල ඇතිනේ හාලි ඩේවිඩ්සන් ගැන. ඒක ලෝකේ සුපිරි මෝටර් බයික් හදන සුපිරි සන්නාමයක්. හැබැයි එහෙම වුණාට හෑලි ඩේවිඩ්සන්ලා කියන්නේ එහෙම කිසිම සුපිරි බවක් නැති අන්තිම සාපයක්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට දැන් කාලේ ෆේස්බුක් එකට යන්න එපා වෙන්නෙත් මේ කියන හෑලි ලියන පොරවල් නිසා තමයි. ගොඩක් වෙලාවට මේ අය මෙහෙම ෆේස්බුක් එකේ හෑලි ලියන්නේ එක්කෝ තමන්ගේ තියෙන මොකක් හරි පෞරුෂත්ව ප්‍රශ්නයක් නිසා. එක්කෝ සැබෑ සමාජයේ කිසිම තැනකට එන්න බැරිවුණු නිසා මේ අය හිතනවා ෆේස්බුක් එකේ හෑලි ලිව්වහම පොරවල් වෙනවා කියලා. තවත් සමහර හෑලි ලියන්නන්ට තියෙන්නේ සංවේදීතාවය ඕවර්ඩෝස් වුණු ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම, තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකේ, පේජ් එකේ, ගෘප් එකේ රීච් එක වැඩි කරගන්නත් හෑලි ලියන උන්දැලා ඉන්නවා.
හරි, අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් මේ විදියේ හෑලි ලියන හෑලි ඩේවිඩ්සන්ලා කියන්නේ වඳවෙලා යන්න ඕන සත්ව කොට්ඨාසයක් කියන එකට. හැබැයි මේ විදියේ ෆේස්බුක් හෑලි ලියන උන්දැලාගේ විවිධ කැටගරි අඳුනාගන්න එකත් වෙනම ආතල් එකක්!
පොලිටිකල් හෑලි ලියන මිනිස්සු නම් අපිට වැඩි කරදරයක් නැතුවම අඳුනගන්න පුළුවන්. උන්දැලා සාමාන්‍යයෙන් මොකක් හරි දේශපාලන පක්ෂෙකට කඩේ යන, වහල් භාවයේ ඉන්න ජීවීන් කොට්ඨාසයක්. මුන්දැලා සමහරු හිතාගෙන ඉන්නේ තමන් මාර පොලිටිකල් ඇනලිසිස් ලියනවා කියලා. හැබැයි ඒවා ඒනල්-ලිකින් මිසක් ඇනලිසිස් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඔන්න මොකෙක් හරි පොලිටික්කෙක් තමන් මෙලෝ අලබෝලයක් නොදන්න දෙයක් ගැන ගොන් ටෝක් එකක් දෙනවා. දැන් කාලේ ඔය වගේ දේවල් වලට සෝෂල් මීඩියා වල මිනිස්සු හිනාවෙනවනේ. ඉතින් ඔන්න පොලිටිකල් හෑලි කාරයෝ බහිනවා පතරංග හෑලි ලියලා අර පොලිටික්කා කියපු ගොන් කතන්දරේ සාධාරණීකරණය කරන්න. ඒ හෑල්ල එයිට හපන්. ඉතින් කොහෙද දොරේ මේ රට හදන්නේ මුනුත් එක්කලා!!
සාමාන්‍යයෙන් අපි ෆේස්බුක් එකෙන් මිනිස්සුන්ගේ උපන් දින වලට සුබ පතනවනේ. ඒක මහ අමුතු කාරණයක් නෙවෙයි. එතකොට ඔය කලාකාරයෝ, දේශපාලකයෝ වගේ රටේ ජනප්‍රිය මිනිස්සුන්ගේ උපන්දින එනවනේ. ඒවලටත් ෆේස්බුක් එකේ ඔය විදියටම සුබ පතනවා. ඒකත් අමුතු කාරණයක් නෙවෙයි. සමහර වෙලාවට නිකම්ම හැපි බර්ත්ඩේ කියන්නෙ නැතුව මොනවා හරි වදනක් දෙකක් එක්ක සුබ පතන එකත් ගැටළුවක් නෙවෙයි. මොකද, ජනප්‍රිය නැතත් සමහර වෙලාවට අපේ ජීවිතේට සමීප මනුස්සයෙක්ට ෆේස්බුක් එකේ සුබපතනකොට වුණත් සමහර වෙලාවට විශේෂයෙන් මොනවා හරි කියලා සුබ පතනවනේ. හැබැයි ඔය අතරේ තවත් සමහරු ඉන්නවා, ෆේස්බුක් එකේ ජනප්‍රිය මනුස්සයෙක්ට උපන්දිනේට සුබ පතන්න ගියහම දන්න කියන ඔක්කොම කැටයං ටික දාලා පත හෑලි ලියන. සිද්ධ වෙලා තියෙන්නේ මියුසිකල් ෂෝ එකකදී කවුරුහරි ප්‍රසිද්ධ ගායකයෙක් එක්ක සෙල්ෆියක් ගහන්න අවස්ථාව ලැබිලා. හැබැයි ඉතින් ඒ සෙල්ෆිය දාලා ආයෙ කතන්දරයක් ලියනවා, ඒ අහවල් ගායකයා එක්ක මං ඊයෙ රෑත් පැයක් විතර කතා කලානේ ලෙවල් එකට. ඕවා හෑලි පුතා, හෑලි. ඇති වැඩක් නෑ!
මනුස්සයෙක් මැරුණහම ලියන හෑලි තමයි හෑලි. ඇත්තම කිව්වොත් ඒවා දැක්කහම අපිට මැරෙන්නත් බය හිතෙනවා. ආයෙ අවමංගල්‍ය හෑලි ලියන්නේ අර මැරුණු මිනිහා පණපිටින් ඉන්නකොට කරපු ප්‍රයිවට් චැට් වලත් ස්ක්‍රීන් ෂොට් දාලා. ආයෙ මැරුණු මනුස්සයා ෆේස්බුක් එකේ පොඩ්ඩක් අනික් මිනිස්සු දන්න අඳුනන ඩයල් එකක් නම් විනාසයි. උන්දැ මැරිලත් ලැජ්ජාවේ ආයෙ පණ යනවා ඒ ලියන හෑලි දැකලා. සමහර වෙලාවට මැරුණු මනුස්සයගෙ වැඩි හොඳ ලියන්න ගිහිල්ලා මේ හෑලි ඩේවිඩ්සන්ලා මැරුණු මනුස්සයගෙ රෙදිත් ගලවනවා!
Saru Fm Media