අන්තර්ජාලය පවුලක් බිඳලන්න පුළුවන් තරම් නරක දෙයක් ද? – Lifie

0
10

 

අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි නිතරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න නිසා අපේ සබඳකම්, අධ්‍යාපන කටයුතු, රාජකාරී කටයුතු බිඳ වැටෙන බව. ෆෝන් එක අතට ගත්තාම දවසේ ම Facebook, YouTube වැනි වෙබ් අඩවි වල දවස ගෙවන්න අපි පුරුදු වෙලා ඉන්නවානේ. කාර්යාලයේ වැඩ කරන අතරතුරේ දී වුණත් විටින් විට ෆෝන් එක අතට අරගෙන facebook එක ස්ක්‍රෝල් කරන්නට අපි නිතැතින් ම පෙළඹෙනවා. ඊට පස්සේ කෑම පැයේදී youtube එක open කරගෙන වීඩියෝස් බලනවා. නිවාඩුවකට විනෝද වෙන්න හිතාගෙන එළියට ගියත් ඔෆිස් එකෙන් ආපු email නොබලා ඉන්නට පුළුවන්කමකුත් නැහැ. මේ විධියට දරුවන්ගේ ගෙදර වැඩ වලටවත් උදව් වෙන්න වෙලාවක් නැති නිසා ෆෝන් එකේ එල්ලිලා ඉන්න එක දරුවන්ට වගේම ‘පවුල’ටත් ප්‍රශ්නයක් බව පේන්න තියෙනවා. ඉතින් මේකට තියෙන එකම විසඳුම සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා, වෙබ් අඩවි හෝ සේවාවන් භාවිතා කිරීම නවත්තලා, ෆෝන් එක පැත්තකින් තියලා offline ඉන්න එක ද? ගල් යුගයේ මිනිස්සුත් ඒ විදිහටම හිටියා. ඉතින් ඔවුන්ගේ පවුල් සුන්දරත්වයෙන් පිරී ගිහින් තිබුණු ඒවා ද?

අපි කොච්චර ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න උත්සාහ කළත් එය ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. Notification එකක් ආපු ගමන්ම නැවත දුරකථනය අතට අරගෙන බලන්න හිතෙනවා. ඊයේ දාපු පිංතූරයට comment කොච්චර ඇවිල්ලා තිබෙනවා ද කාර්යාලයෙන් කොච්චර email ඇවිත් තිබෙනවාද, යහළුවෝ අද කරන්නට සැරසෙන්නේ මොනවාද වගේ දේවල් දැන ගන්නට අපිට කුතුහලය නිතැතින්ම ඇති වෙනවා. ඉතින් මේ සමාජීය ජීවිතයත්, office එකේ ජීවිතයත්, පවුල් ජීවිතයත් රැක ගෙන හැම දේම balance කරගන්නට පුළුවන් ක්‍රමයක් තිබෙනවා ද කියලා අපි සොයා බලමු.

 

අන්තර්ජාලය හෙණයක් ද?

“ගමෙන් ලියුමක් ඇවිල්ලා – අක්කගෙන් වාගේ” කියන එක සුන්දර වුණත් ඉස්සර ලියුමක් යවලා පිළිතුරක් එන්න සති ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම එය අවශ්‍ය කෙනාට අවශ්‍ය මොහොතේදී ලැබෙනවාද යන්න වත් හරියට දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒත් කුරුල්ලෙක්ගේ කකුලේ ගැට ගහලා ලියුමක් යවනවාට වඩා තැපෑලෙන් යවන එක වඩාත් කාර්යක්ෂම වුණා. ඊට සමගාමීව නව රැකියා බොහොමයක් සහ මුද්දර එකතු කරන පිරිසක් මෙන්ම බයික් එකකට ‘තැපැල් නයින්ටිය’ කියා උප සංස්කෘතික නාමයක් ද පටබැඳුණා. ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ දුම් ගහලා පණිවිඩයක් යවන එක, ඊතලයක් යවලා පණිවිඩයක් යවන එක තරම් තැපෑල ආතල් වැඩක් නෙවෙයි කියලා?

පයින් යන එක ශරීර සෞඛ්‍යයට හොඳ වුණත් වාහන තියෙන කාලෙක පයින් යන එක ටිකක් විකාර වැඩක්. “බස්තියන් පයින් යන්නේ ඇයි?” කියලා කටවහරේ උපහාසාත්මක කියමනක් තිබෙන්නේත් මේ නිසාමයි. හදිසියකදී ලෙඩෙක් වුණාම අපි පරණ ක්‍රමයට කැමතියි කියලා පයින් ම ලෙඩාව එක්කගෙන යන්න ගියොත් අපේකම රැකගෙන ලෙඩාගේ පණ නහගන්න නම් පුළුවන්. ඉතින් පැරණි ක්‍රමය හැමවිටදී ම හරි ක්‍රමය වෙන්නේ නැහැ. ඉතින් හැමදාම පරණ දේවල් බදාගෙන ඉන්නේ නැතුව තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. “නෝටිෆිකේෂන් එකක් ඇවිල්ලා – අක්කාගෙන් වාගේ” කියලා කියන එක ලැජ්ජාවක් නොවෙයි. ඒක තවත් සබඳකම් වඩාත් වේගයෙන් වර්ධනය කරන්නක්. දැන් අක්කාට මල්ලිගේ මුහුණ දකින්නට, කරන කියන දේවල් දකින්නට දුර කතර ගෙවාගෙන ඔහු ගමේ එනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ෆේස්බුක් එකෙන් හෝ වීඩියෝ කෝල් එකකින් ඒ හැම දෙයක් ම දැකබලා ගන්නට පුළුවන්.

 

අද තත්ත්වය

අන්තර්ජාලය ලෝකයට, අපේ රටට අලුත් දෙයක් වුණු කාලයේ හැම දෙනෙක් තුළ ම තාක්ෂණය ගැන කුතුහලයක් තිබුණා. ගෙදර පරිගණකයේ සිට ඇමරිකාවේ සර්වරයකට සබඳතාවය ඇතිවෙන්නේ කොහොමද, වෙබ් අඩවියක් ගොඩනැගෙන්නේ කොහොමද වගේ දේවල් සොයා බලන්නට එකල සිටි අය උනන්දු වුණා. මේ නිසා අන්තර්ජාලය සම්බන්ධව දැනුම වර්ධනය වීම, සිංහල භාෂාව ලෝකයට විවෘත වූ භාෂාවක් බවට පත්වීම සහ ලෝකයේ සිදුවන නිෂ්පාදන සඳහා සිංහල භාෂාවට ද සහාය දැක්වීමට නැඹුරුතාවයක් ගොඩනඟා ගන්නටත් ඔවුන්ගේ දායකත්වය මහත් පිටිවහලක් වුණා. ඒත් අද සිටින අයට තිබෙන්නේ තාක්ෂණික කුතුහලයක් නෙවෙයි. තමාට භෞතිකව කරගන්න බැරි දේවල් අන්තර්ජාලය හරහා දකිමින් කුතුහලය නැතිකරගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ පවුලෙන් වෙන් වී අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කෙසේ වෙතත් එය අවභාවිත කරමින් සිටින බව අපිට පුවත් හරහා දැනගන්නට ලැබෙනවා.

 

ප්‍රශ්නය තිබෙන්නේ භාවිතා කරන ආකාරය අනුවයි

කුඩා දරුවන්ගේ අතට දෙන පැන්සලකින් අකුරු ලියනවා වෙනුවට තවත් කෙනෙක්ට ඇන තුවාල සිදු කරන්නට පුළුවන්. අපි ඉගෙන ගන්නා විද්‍යාව වුණත් න්‍යෂ්ටික අවි නිපදවන්නට මෙන්ම තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරන්නට ඖෂධයක් නිපදවන්නටත් භාවිතා කරන්නට පුළුවන්. අන්තර්ජාලයත් ඒ වගේ. අපි දැනගන්න ඕනේ එය හරි ආකාරයට පාවිච්චි කරන්නට. කුඩා දරුවන්ට මෙය තේරෙන්නේ නැති නිසා වැඩිහිටියන්ගේ වගකීමක් වෙනවා ඒ ගැන සෙවිල්ලෙන් ඉඳලා ඔවුන්ට ඒ ගැන කරුණු කාරණා පහදලා දෙන්නට. ප්‍රශ්නය තිබෙන්නේ අන්තර්ජාලය අවභාවිත කරන්නට වැඩිහිටියන්ට යොමු වී සිටීමයි. ඉතින් දරුවන්ට කියාදෙන්න තබා ඔවුන්ටවත් බුද්ධියෙන් විමසා මෙය ගැන හරි තීන්දුවක් ගන්නට නොහැකි බවක් දකින්නට ලැබෙනවා.

මහා විනාශයන් සිදු කරන්නට පුළුවන් කියා විද්‍යාව හැදෑරීම නැවැත්වීමවත්, තුවාල සිදුවෙනවා කියලා පැන්සලෙන් ලිවීම නැවැත්වීමවත්, සමාජය නොමඟ යනවා කියා අන්තර්ජාලය කපාහැරීම වත් නොවෙයි අප කරන්නට ඕනේ. මේ සඳහා පාසලෙන් හෝ වගකිවයුතු ආයතනයන් විසින් ජනතාව දැනුවත් කිරීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. මෙය දවසකින් දෙකකින් කරන්නට පුළුවන් කර්තව්‍යයක් නොවේ. ඒත් ඔබ ඔබේ නිවසේ දරුවා ගෙන් ආරම්භ කරනවා නම් එය සමාජයේ මහත් මෙහෙවරක් වෙනුවෙන් තබන මහා පියවරක් බවට පත්වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here