අපේ දුම්රිය මග උඩ හැටට හැටේ පිඹගෙන යන ඩීසල් මල්ටිපල් යුනිට් – Saru News Media

0
5

බස් රථයකින් යන එන ගමනකට වඩා දුම්රිය ගමන සනීපදායීය. දුම්රියේ ඇති අවකාශය බස් හෝ ගුවන් ගමනට වඩා වැඩිය. ටිකක් නිවීහැනහිල්ලේ දුර ගමන් යන්නට ආසා ජනයා ලොව පුරාම දුම්රිය හරහා සිය ගමන් පහසුව සලසා ගනී. ගොඩබිම ධාවනය වන වාහන අතරින් එකවර විශාල ප්‍රමාණයක් මිනිසුන් ගෙන යා හැකි ප්‍රධානතම ක්‍රමය දුම්රිය වේ. මේ දුම්රිය වර්ග කිහිපයකි. මුලින්ම වාෂ්ප එන්ජිම පැමිණි කාලයේ සිට ප්‍රචලිත වූ එන්ජිම සහ මගීන් පෙට්ටි රැසක්  ඇදගෙන යෑම එක් ක්‍රමයකි. එසේම විවිධ අවස්ථාවල එන්ජින් එකකට වඩා වැඩියෙන් යොදාගන්නා අවස්ථා වේ.

 

ලංකාවේ කඳුකර ගමනාගමනයේදී දුම්රියට අලුතින් එන්ජිමක් එකතු වේ. රඹුක්කනින් ඉහළට මෙන්ම උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ගමනේදී ඉදිරිපස එන්ජිමට අමතරව තල්ලු කිරීම සඳහා තවත් එන්ජිමක් දායක වේ. මෙයද එකම දුම්රියට මල්ටිපල් එන්ජින් හෙවත් එන්ජින් කිහිපයක් සම්බන්ධ වන ක්‍රමයෙකි. එසේම විශාල බඩු බාහිරාදිය ප්‍රවාහනයේදී බර අධික වනවිට එන්ජින් කිහිපයක් යෙදීමට අවශ්‍ය වේ. ඇමරිකාව, චීනය, රුසියාව. ඉන්දියාව වැනි සුවිසාල රටවල කිලෝමීටර දහස් ගණන් බඩු බාහිරාදිය ගෙන යෑමේදී එසේ එන්ජින් කිහිපයක් මගින් බඩු බාහිරාදිය ගැල් රැසක් පටවාගෙන දුම්රිය ඉදිරියට ගමන් කරනු ලැබේ.

 

මෝටර් රථයට පෙර ලොවට හඳුන්වා දුන් වාෂ්ප එන්ජිම මගින් දුම්රියට බලය ලබාදෙන්නට විය. ඒ හරහා ගල් අඟුරු වලින් ලබාගත් වාෂ්ප බලයෙන් දුම්රිය ධාවනයට අවශ්‍ය බලය සැපයුණි. ඉන් පසුව 1900 ගණන් වල මුල් කාලයේ විදුලි බලය පැමිණියේය.  එක් තැනක සිට තවත් තැනකට බලශක්තිය පහසුවෙන් රැගෙන ගොස් කාර්යයන් රැසකටම පහසුවෙන් යොදාගත හැකි ශක්ති ප්‍රභවයක් වූ විදුලිය, කාර්මික විප්ලවය නව මගකට යොමු කරන්නට සමත් විය. විදුලි දුම්රියද නිව්යෝක් ලන්ඩන් ආදී නගරවල ජනප්‍රිය විය. ඉන් පසුකාලීනව ප්‍රබල ඩීසල් එන්ජිම ලොවට හඳුන්වා දීමෙන් පසුව ඩීසල් එන්ජිමේ බලයෙන් විදුලිය නිපදවා, විදුලියෙන් මෝටර කරකවා දුම්රියට බලය දෙන ක්‍රමය ලොව ජනප්‍රිය විය. අද ලොව බොහෝ රටවල විදුලිය බලයෙන් කෙලින්ම දුම්රිය පණ ගැන්වුනත්, තවමත් විශාල බර ගෙනියන යෙදවීම් සඳහා බලගතු ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් යොදාගැනේ.

 

විදුලියෙන් දුම්රිය ධාවනයේදී දුම්රිය මගට ඉහළින් ඇති වයර් මගින් නිරන්තරයෙන් බලය ලබාගත හැකි හෙයින් දුම්රියේ ඕනෑම තැනක ඇති රෝද වලට පහසුවෙන් බලය ලබාදිය හැකිය. ඒ නිසා එකම දුම්රිය එන්ජිම හැර ස්ථාන කිහිපයකම රෝද ට්‍රැක්ශන් මෝටර හරහා කරකවා බලය උත්පාදනය කරගන්නට හැකිය. විදුලි දුම්රිය සඳහා ඉලෙක්ට්‍රිකල් මල්ටිපල් යුනිට් හෙවත් EMU ලෙස මෙම ක්‍රමය ජනප්‍රිය විය.

 

එකම විශාල දුම්රියේ ඩීසල් එන්ජින් කිහිප තැනක පිහිටුවා රෝද කට්ටල කිහිපයකටම බලය ලබාදීම ඩීසල් මල්ටිපල් යුනිට් මගින්  සිදු වේ. එහිදී පෙට්ටි 12-14 ආදී දීර්ඝ දුම්රියන්ට එන්ජින් දෙකක් සාමාන්‍යයෙන් යෙදේ. ලංකාවේ නම් දැනට බදුල්ල කරා ධාවනය වන නව එස් -12 මැදිරි වල එසේ ඉදිරිපසින් සහ පසුපසින් ආකාරයට ඇති එන්ජින් දෙකක් ඇත. ඒ මගින් දුම්රියේ ස්ථාන දෙකකින් එයට බලය සැපයේ. රුහුණු කුමාරි, සාගරිකා ආදී දුර ධාවනය වන දුම්රිය මෙන්ම කෙටිදුර ධාවනය වන එස් කාණ්ඩයේ දුම්රියන් බලවේග කට්ටල හෙවත් ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් ලෙස හැඳින්විය හැකිය.

 

එකම දුම්රියේ ස්ථාන කිහිපයකින් බලය සැපයෙන හෙයින් ඉතාම ඉක්මනින් අවශ්‍ය වේගය කරා පිවිසීමට ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් වලට පුලුවන. ලෝකයේ දුම්රිය යෙදීම් සැලකීමේදී කෙටිදුර බොහෝ ස්ථානවල නවත්වන මෙට්‍රො දුම්රිය වැනි නාගරික යෙදවීම් වලටද මෙම මල්ටිපල් යුනිට් යන සංකල්පය භාවිතා වේ. බොහෝ රටවල මෙට්‍රො දුම්රිය සඳහා යොදාගන්නේ මේ ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් ක්‍රමයට බලය ලබාගන්නා දුම්රියන් වේ. කෙටි කලකින් බලය ලබාගැනීමට හැකිවීම මෙන්ම දුම්රිය එන්ජිමක ඇති සුවිසාල බර බෙදී යන හෙයින් එතරම් හොඳින් තැනී නැති දුම්රිය මාර්ග සඳහාද මල්ටිපල් යුනිට් දුම්රිය ගැළපේ. එම ක්‍රමයේදී දුම්රිය මාර්ගයට ලැබෙන බරද සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වේ.

 

එන්ජිමක් සහිත දුම්රියක එන්ජිමක් යම් දෝෂයකට ලක් වුවහොත් ඒ දුම්රිය එන්ජිම පමණක් වෙනමම ධාවනය කොටගෙන ගොස් එයට පිළියම් යෙදිය හැකිය. එහෙත් බලවේග කට්ටලවලදී කට්ටලයකින් ඒ එන්ජිම ඉවත් කර වෙනම ධාවනය කිරීම තරමක් අමාරුය. එසේ හැකි වුවත් එම එන්ජිම හදන තුරු වෙනත් දුම්රිය එන්ජිමක් ඒ සඳහා ධාවනය කිරීමටද අපහසුය. අපි සරල උදාහරණයක් ගතහොත් ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය බලවේග එන්ජිමක් යම් කාර්මික දෝෂයකට ලක් වුවහොත් ඒ බලවේග කට්ටලයට චීන බලවේග කට්ටලයක එන්ජිමක් යොදාගත නොහැකිය. ඒ සඳහා ඒ මාදිලියේම බලවේග කට්ටල එන්ජින් මැදිරියක් අත්‍යාවශ්‍ය වේ.

 

ලංකාවේ දුම්රිය සේවයේදි සාමාන්‍ය ව්‍යවහාරයේ පවර්සෙට් ලෙස හැඳින්වෙන්නේ මෙම ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට්ය. එයින් දැනට යහපත් ධාවන තත්ත්වයේ ඇති S-8, S-9, S-10 කට්ටල කෙටිදුර සහ කාර්යාල දුම්රිය පිණිස ධාවනය වේ. එම දුම්රිය වල ආසන දෙපැත්තට සකසා ඇති අතර සිටගෙන වැඩි මගීන් පිරිසකට ගමන් කළ හැකි අයුරින් සකසා තිබේ. මෙයින් එස්-8 කට්ටල කොරියාවේ හුන්ඩායි වෙතින් ආනයනය කොට ඇති අතර අනෙකුත් S-9, S-10  කට්ටල චීනයෙන් ආනයනය කොට තිබේ. දුර ධාවනය වන ඇතුළත 3*2 තුන්වන පන්තියේ සීට් සහිතව පැමිණි ඉන්දියානු S-11  කට්ටල දක්ෂිණ මාර්ගයේ රුහුණු කුමාරි, සාගරිකා සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය සඳහා යෙදවුණි. කඳුකර ධාවනයට දිගින් අඩු පෙට්ටි සමගින් පැමිණි S-12 බලවේග කට්ටල,  එන්ජින් දෙකකින් සමන්විතව උඩරට මාර්ගයට බලය ලබාදෙන්නීය. එවැනිම බලවේග කට්ටල කැළණිවැලි මාර්ගයට ඇතුළත් කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here