අපේ දේශපාලනයේ පිය දියණිය උරුමය – Saru News Media

0
2

ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපි ලංකාවේ දේශපාලනයේ පිය පුතු උරුමය පිළිබඳව කතා කළා. ලංකාවෙත් බහුලව භාවිතා වෙන ප්‍රසිද්ධ චීන කියමනක් තියනවා මහා පුරුෂයෙක් වෙන්න නම් පැළයක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන සහ පුතෙක් හදන්න ඕන කියලා

මොකද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ උරුමය ගෙන යන්න නම් අනිවාර්යයෙන්ම පුතෙක් ඉන්න ඕන කියලා. හැබැයි බොහෝ ක්ෂේත්‍ර දිහා වගේම ලංකාවේ දේශපාලනය ගැන බලද්දිත් මේ කතාව බොරු වෙච්ච අවස්ථා වලට ඕන තරම් උදාහරණ තියෙනවා. අපි අද කතා කථා කරන්න යන්නේ තමන්ගේ තාත්තාගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙන යන්න කටයුතු කරපු දුවලා ගැන.

 

මොන මොන අඩුපාඩුකම් තිබ්බත් කොරෝනා මර්දන සටනට සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවයි කියන එක අපි පිළිගන්න ඕන ඇත්තක්. එතුමිය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය නායිකාවක්. එතුමිය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ අඩිපාරේ යමින්. ඔහු තමයි ධර්මදාස වන්නිආරච්චි. ඔහු ගැන අදටත් සබරගමුවේ ජනතාව සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුක්තව. දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයට එරෙහිව ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර ගනිමින් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙයෙව්වා.

 

ජීවන් කුමාරතුංග දේශපාලනයට පිවිසෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරාධනයෙන්. විජය කුමාරතුංග සමඟ පැවති සමීප ඥාති සම්බන්ධතාවයත් ඊට එක හේතුවක් වෙන්න ඇති. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඔහු ජනප්‍රිය නායකයෙක් බවට පත්වුණා. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියදීම ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග බස්නාහිර පළාත් සභාව නියෝජනය කළා. පසුව ඊළඟ මහ මැතිවරණයේදී සෞඛ්‍ය හේතු මත ජීවන් කුමාරතුංග ඉදිරිපත් නොවී ඒ වෙනුවට මල්ෂා කුමාරතුංග ඉදිරිපත් කරත් ඇයට එම මහ මැතිවරණයෙන් නම් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

 

ගම්පහ දිස්ත්‍රික්කය හරහා පළාත් සභා වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජනප්‍රිය නායකයෙක් තමයි සද්ධාතිස්ස සකලසූරිය කියන්නේ. ඒ වගේම ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාගේ මස්සිනා. සද්ධාතිස්ස සකලසූරිය මහතා මැදි වයසේ දී මිය යද්දි ඔහුගේ දියණිය ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටියා. පසුව බස්නාහිර පළාත් සභාව සඳහා තරඟ කොට විශිෂ්ට අයුරින් එම මැතිවරණය ජයග්‍රහණය කළා. 2015 මහ මැතිවරණය සඳහා ඇය නාම යෝජනා බලාපොරොත්තු වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම අවස්ථාව ඇයට හිමි වුණේ නැහැ.

 

මුදියන්සේ තෙන්නකෝන් කියන්නේ වෙනස්ම විදියේ දේශපාලනඥයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. බටහිර අධ්‍යාපනය ලැබුවත් කිසි දාක සිංහලකම ගැමිකම ඔහු අමතක කළේ නැහැ. වයඹ පළාත තුළ ඔහු සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කළා. නමුත් අවාසනාවකට වගේ අභිරහස් විදිහට ඔහු අතුරුදහන් වුනා. ඊට පස්සේ එතුමා ගෙන ගිය දේශපාලන සටනට නායකත්වය දුන්නේ ඔහුගේ දියණිය වුණු සෝමා කුමාරී තෙන්නකෝන් මහත්මිය. ඇය පළාත් සභා මන්ත්‍රීවරියක් විදිහටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියටත් කටයුතු කළා. නමුත් ඇය හදිසියේ අභාවප්‍රාප්ත වුණේ වයඹ පළාතේ දේශපාලනය තුළ හිඩැසක් ඇති කරමින්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here