අපේ රටේ දේශපාලනය වෙනස් කළ දේශපාලකයන් නොවන අය – Saru News Media

0
1

අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න මූලික වෙන්නෙ කවුද කියලා ඇහුවොත් එහෙම ඔයා මොන වගේ උත්තර ලබා දෙයිද? නිවැරදිම උත්තරේ වෙන්න ඕන මහජනතාව කියන එක වුණත් බොහෝ දෙනෙක් කියන්නේ දේශපාලනඥයෝ කියන උත්තරය. හැබැයි අපේ රටේ ඉතිහාසය දිහා සූක්ෂම​ව බලද්දි අපිට පේන දෙයක් තමයි සමහර අවස්ථාවලදී දේශපාලඥයන් නොවන පිරිසක් අපේ රටේ දේශපාලනය සහ ඉතිහාසය වෙනස් කරන්න දායක වෙලා තියෙනවා කියන එක. මේ නිසා 1948ට පස්සේ අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න දායක වෙච්ච දේශපාලනඥයින් නොවන පිරිස් ගැන පොඩි සොයා බැලීමක් කරන්න අපි හිතුවා.

 

ඩී එස් සේනානායක අපේ රටේ ‘ජාතියේ පියා’ විදිහට අපි සලකනවා. බොහෝ දෙනෙක් කියන්නේ ඩී එස් සේනානායක​ගේ ශූර බුද්ධිය හින්දා ලංකාවට ලේ බිංදුවක්වත් හොලවන් නැතුව නිදහස ලබා ගන්න පුළුවන් වුනා කියලා. ඒත් ඇත්තටම සේනානායක සිදු කරපු වැඩකටයුතු පිටිපස්සේ තවත් එක් සුවිශේෂී පුද්ගලයෙක් හිටියා. ඒ තමයි ඩී. එස් ගේ වැඩිමහල් සහෝදරයකු ව​න එෆ්. ආර් සේනානායක. නමුත් විශේෂත්වය වුණේ එෆ්.ආර් සේනානායක කිසිම අවස්ථාවක තනතුරු හෝ තාන්න මාන්න පසුපසින් නොයෑම. එකම එක් අවස්ථාවකදී පමණක් ඔහු කොළඹ නගර සභාවේ කොල්ලුපිටිය කොට්ඨාස​යේ නාගරික මන්ත්‍රීවරයා විදිහට අවුරුදු පහක ධුර කාලයක් දරා තිබෙනවා. ඒ ඔහු සෘජුව දේශපාලනයට සම්බන්ධ වුණු ප්‍රථම හා අවසාන අවස්ථාව. අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙකු වූ එතුමාව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිරගත කරනු ලබනවා. ඒ නිසාම එතුමාගේ අධිරාජ්‍ය විරෝධී හැඟීම් උත්සන්න වෙනවා. ආණ්ඩුකාර රොබට් චාමර්ස්ගේ දුර්දාන්ත ක්‍රියාකලාපයට එරෙහිව යටත් විජිත ලේකම් වරයාට ඊ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ සපත්තුවේ සඟවා සංදේශයක් යැවීමේ ක්‍රියාවලියේ මහ මොළකරු වන්නෙත් එෆ්.ආර් සේනානායක.

 

මෙතුමාගේ නම අද වෙනකොට බොහෝ දෙනාට එතරම් හුරු පුරුදු නමක් නම් නෙමෙයි. 1956 දී සිදුවුණු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පංච මහා බලවේග වල ජයග්‍රහණයට තිරයේ පිටුපස ඉඳන් මහ මෙහෙයක් සිද්ධ කරපු පුද්ගලයෙක් තමයි එන්. කියූ දියෙස් මහතා. හේනපිටගෙදර ඥානසීහ හිමියන් සමග එක් වෙමින් රට පුරා යමින් සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතු බව කියමින් ජනමතයක් සෑදීමට ඔහු ක්‍රියා කළා. එතෙක් කල් නිසි ප්‍රතිපත්තියක් නොමැති ව සිටි  එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාව සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කැමැති කරවා ගත්තේත් ඔහු විසින්. ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළ එතුමා අනාගතයේ දී ශ්‍රී ලංකාවට දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයෙන් තර්ජනයක් එල්ල වන බව පුරෝකතනය කළා. ඒ වෙනුවෙන් ඔහු සැලසුම් සකස් ක​ළත් එවකට පැවති රජයන් මේ පිළිබඳ නිසි අවධානය යොමු කළේ නැහැ. 

 

මේ නමත් එච්චර අහල නැති නමක් වුණත් මේ කෙනාගේ පුත්‍රයා ගැන නම් අපි හැමෝම දන්නවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. අගමැතිතුමාගේ තාත්තා වුණු එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න දායක වුණු පුද්ගලයෙක්. ඔහු පළමු වරට කළ එළි බහින්නේ ඩී.එස් සේනානායකගෙන් පසුව අගමැති පදවිය ලැබිය යුතු ජෝන් කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායකව එම තනතුර පත් කිරීමට අවශ්‍ය ජනමතය ලේක්හවුස් පුවත්පත් මගින් ඇති කිරීමට මැදිහත් වීමෙන්. 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය පරාජය කිරීමට කටයුතු සම්පාදනය කරනු ලැබුවේත් එස්මන්ඩ් වික්‍රමසිංහ විසින්. ඒ ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පනත පරාජය කිරීමට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම මගින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම​ට අවශ්‍ය රාජ්‍ය තාතාන්ත්‍රික කටයුතු මෙහෙයවීම සිද්ධ වුණේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන්. දේශපාලනයට පැමිණෙන්න යැයි ජේ ආර් ජයවර්ධන විසින් කීප වරක් ඉල්ලීම් කළත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර ඔහු වෙනුවට තමන්ගේ පුතා වුණු රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරනු ලැබුවා.

 

1962 වර්ෂය ලංකා ඉතිහාසයේ ඉතාම තීරණාත්මක වර්ෂයක් වූයේ ප්‍රථම වරට කුමන්ත්‍රණයක් මගින් ලංකාවේ බලය අල්ලා ගැනීමට පොලිසියේ සහ හමුදාවේ පිරිසක් එක්ව උත්සාහ කිරීම නිසා. නමුත් මේ කුමන්ත්‍රණය වැලකී ගියේ පොලිස් නිළධාරියෙක් ගේ මැදිහත් වීම නිසා.ඔහු නමින් ස්ටැන්ලි සේනානායක. මේ කුමන්ත්‍රණය පිළිබඳව ඔහු තමන්ගේ බිරිඳට සහ මාමණ්ඩිය වුණු පී ද එස් කුලරත්න මහතාට දැනුම් දෙනු ලැබුවා. පී ද එස් කුලරත්න මහතා විසින් එවකට අගමැතිනියගේ සමීපතම ඇමතිවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට දැනුම් දීමෙන් පසු ඔහු හමුදා කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට අවශ්‍ය කටයුතු සලසනු ලැබුවා. පසු කලෙක ස්ටැන්ලි සේනානායක මහතා මේ රට පොලිස්පතිවරයෙකු බවටත් පත් වුණා 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here