අරුම පුදුම ස්වයංක්‍රීය අලෙවි යන්ත්‍ර – Amazing vending machines – Saru News Media

0
2

කාසි දැමූ විට දුරකථන ඇමතුම් ලබාගත හැකි දුරකථන ඇමතුම් යන්ත්‍ර වර්ෂ දෙදාහේ මුල් දශකය තුල වඩාත් ජනප්‍රිය විය. අප රටේ වඩාත් ප්‍රචලිත නොවූවත් මුදල් හෝ කාසි යෙදීමෙන් බඩු බාහිරාදිය ලබාගත හැකි අලෙවි යන්ත්‍ර ලොවට පැමිණිලා නම් බොහෝ කාලයක් වේ. මීට වසර 2000කට ප්‍රථම ඊජිප්තු ග්‍රීක ගණිතඥයෙකු විසින් කාසියක් දැමීමෙන් ශුද්ධ වූ ජලය ලබාගත හැකි යන්ත්‍රයක් නිපදවනු ලැබීය.  එයින් ඇරඹි මෙම අලෙවි යන්ත්‍ර සේවකයින් රහිතව බඩු බාහිරාදිය විකිණිය හැකි කදිම ක්‍රමයක් වූ බැවින් විවිධ දේ විකිණීම සදහා භාවිතා වන්නට විය. එයින් තරමක වෙනස් අන්දමේ ස්වයංක්‍රීය අලෙවි යන්ත්‍ර කිහිපයක් ගැන අපි දැනකියා ගනිමු.

 

චීනයේ ශින්ජියෑන් හි අගනුවර වූ හංශු පලාතේ මෙම පණ ගහන කකුළුවන් බෙදන යන්ත්‍රය තිබේ. කකුළුවන් යනු පණපිටින්ම විකිණෙන විශාල අඬු සහිත මුහුදු ජීවියෙකි. පණ ගියොත් කකුළුවාගේ  අගය සැණෙන් බිඳ වැටේ. මෙම යන්ත්‍රයෙන් ගන්නා කකුළුවෙකු පණ නැති මියගිය එකෙක් වුවහොත් එ් සඳහා අලුත්ම කකුළුවන් තුන් දෙනෙකු ඒ අය වෙත නිකුත් කරන්නට ද මෙම යන්ත්‍රයෙන් කකුළුවන් බෙදන ආයතනය තීරණය කොට තිබේ.

 

අයිස් ක්‍රීම් බෙදන තැන්වලදී විවිධාකාර පාට සහ රස ඇතුලත් අයිස් ක්‍රීම් ආස්තරයන් ඇසට ප්‍රිය පරිදි පිලියෙළ කොට ලබාදීම සිදුකරනු ලැබේ. ඒ ආකාරයටම අයිස් ක්‍රීම් වර්ග තෝරාගත් විට අදාල මුදල ගෙවූ පසු අයිස් ක්‍රීම් තට්ටු තට්ටු ඒ නියමිත ද්‍රව්‍යද සමගින් නිකුත් කිරීමට මෙම අයිස් ක්‍රීම් බෙදන යන්ත්‍ර සමත්ය.

 

පීසා එකක් කන්නට පීසා කඩයකට ගොඩ වූ පසු එය හදන්නට විනාඩි 15ක් විස්සක් කොහොමත් ගත වෙන බව පීසා කන්නට හදිසියේ හෝ ගිය අයෙකු දනී. එහෙත් ඇමරිකාවේ ඔහියෝ සරසවියේ සිසුන් නිපදවා තිබූ ආදර්ශ මෙම පිසා මැෂිමෙන් පීසා මාදිලි 12ක පීසා එවෙලේම තනා නිකුත් කරන්නට සමත්ය. පීසා එකට අන්තර්ගත විය යුතු ටොපින් ආදිය ද මෙම පීසා දෙන යන්ත්‍රයේදී තෝරාගත හැකිය. එහෙත් ඒ වැඩිපුර දේවල් එකතුකරගන්නවා නම් ඒ සදහාද මුදලක් ගෙවූ පසුයි පීසා එක හැදීම හා නිකුත් කිරීම සිදුවන්නේ.

 

බස්නැවතුම දුම්රිය පොලක සිටින විට අහල පහල තැනක විශ්වාසදායිව කටට රසට නූඩ්ල්ස් ටිකක් පිරිසිදුවට කන්න තිබෙනවා නම්? අපිරිසිදු කඩවල් වලින් බඩ ගැන අවිශ්වාසයට කනවාට වඩා එය හොඳ තෝරාගැනීමක් නේද? ඒ අවශ්‍යතාවය අඳුනාගත් චීනයේ නිශ්පාදකයින් නූඩ්ල්ස් නිෂ්පාදන මැෂින් සහ ඒවා මුදලට බෙදන මැෂින් නිෂ්පාදනය කොට තිබෙනවා. අවශ්‍ය රස සහ වර්ගය  තෝරාගෙන අදාල මුදල් ගෙවීමෙන් නූඩ්ල්ස් පිඟානක් එවෙලේම ස්වයංක්‍රීයව ඔබට ලබාගන්නට මෙම නූඩ්ල්ස් මැෂිම හරහා හැකියි.

 

ඉස්සර ගම්වල මලගෙදරක, සංගීත සංදර්ශනයක, පිංකමක, කඨිනකයක හෙම රෑ නිදිමරලා කොල්ලෝ කුරුට්ටෝ පාන්දරින් ගෙවල් වල යද්දි බේකරිය ගාවදි බේකරියේ පාන් සහ බනිස් නිශ්පාදන වලින් හමන සුවඳ කොලු පිරිස බේකරිය දෙසට අද්දවන්නට සමත්. ඉතිං බේකරියේ වැඩ කරන අය දොරවල් වහගෙන ඒ වෙලාවේ ගජරාමෙට පාං බනිස් හදන වැඩ වුණත් මේ කොල්ලෝ කුරුට්ටන්ගේ ගේට්ටුවට හෝ  දොරට ගැසීමේ කරදරයෙන් ගැලවෙන්න අමාරුයි.

ප්‍රංශයේ පාං වර්ගයක් වන බැගට් නිශ්පාදක බේකරි මහත්මයෙකුටත්  පෑ 24ම පාන් ඉල්ලලා දොරට තඩි බාලා වද දෙන පාරිභෝගිකයින්ගෙන් ගැලවෙන්නට උවමනා වුණා. ඔහුත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙනත් සවිකලා වෙන්ඩින් මැෂිමක්. ඒකෙදි බැගට් කියන ප්‍රංශ පාන් ජාතිය හදලා ලෝඩ් කරලා තියෙනවා රෑකට සරිලන්න. ඉන් පස්සේ අවේලාවේ ඇවිල්ල පාන් අවශ්‍ය අයට මුදල් ගෙවලා පාන් රැගෙන යන්න අවස්ථාව මෙම බැගට් බෙදන යන්ත්‍රය නිසා ඒ අවට ජනතාවට උදා වෙලා තිබෙනවා.

 

ඩ්‍රම් ස්ටික් කියලා බැදපු කුකුල් කකුල් වලටත් කියනවා. මේ ඒ ගැන නම් නෙමෙයි කතාව. ගුත්තිල මූසිල කතාවෙදි මූසිල වැඩ දාන්න ගිහින් වීනාවේ ස්ට්‍රින්ග් එක කඩාගන්නවා. ඉතිං ලගපාත ස්ට්‍රිං එකක් නැති නිසා හෝ තිබුණත් අමුනාගැනීම වෙලා යන වැඩක් නිසා මූසිල පරාද වෙනවා. මහ රාත්‍රියේ මෙටල් මියුසික් වලට රොක් මියුසික් වලට ඩ්‍රම් සෙට් පුපුරන්න ගිටර් ස්ට්‍රිං කැඩෙන්න සෙල්ලම් කරන පිරිස ඒවා කඩාගන්න එක ඇමරිකාවේ ඔරෙගන් වල නිතර සිද්ද වෙන්න ගත්තා. ඉතිං මහ රෑ වුණත් විසිහතර පැයේම ඇරපු ATM මැෂින් වලින් සල්ලි ගන්නවා වගේ ලේසියෙන් ඩ්‍රම් ස්ටික් සහ ගිටාර් ස්ට්‍රිංග්ස් වෙන්ඩින් මැෂිමෙන් ගන්න දැන් ඔරෙගන් වල රෑ පාටි දාන අයට හැකියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here